කෙහෙළියගේ නීතිඥයා ගැන වෘත්තීය සමිති අවුලෙන්

කෙහෙළියගේ නීතිඥයා ගැන වෘත්තීය සමිති අවුලෙන්

December 27, 2023   07:38 pm

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළව CIDය ප්‍රකාශ සටහන් කරගත් අවස්ථාවේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ නීතිඥයා ලෙස පෙනීසිටීම ගැටලු සහගත බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් විමර්ශනවල විනිවිදභාවය පිළිබඳ සැක මතුවන බවයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියට අදාළව එම සමාගමේ හිමිකරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු 6 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නමුත් සෞඛ්‍ය වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව කිහිපයක් චෝදනා කරමින් පැවසුවේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මෙම වංචාවට වගකිව යුතු බැවින් ඔහු අත්අඩංගුවට ගත යුතු බවයි.

එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) කොළඹ විජේරාම මාවතේ පිහිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසට පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

එහි දී අමාත්‍යවරයාගේ නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍යය වෙත ද අදහස් පළ කළේය. 

කෙසේ වෙතත් මේ වන විටත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන නීතිඥ මනෝජ් ගමගේ මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නීතිඥයා ලෙස පෙනී සිටීම සදාචාරයට පටහැනි බව වෘත්තිය සමිති පෙන්වා දෙයි.