සුනාමි ඛේදවාචකයේ සැඟවුණු මතකය

සුනාමි ඛේදවාචකයේ සැඟවුණු මතකය

December 27, 2023   01:35 pm

මීට වසර 19කට පෙර හටගත් සුනාමි ව්‍යසනය අවසන් වූයේ රටවල් රැසක ජීවිත ලක්ෂ ගණනක් බිලි ගනිමින්ය.

ව්‍යසනයට බිලිවූවන් අතරින් මෙතෙක් හඳුනානොගත් 137කගේ සිරුරු කොටස් කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ අදටත් සුරක්ෂිතව පවතී. 

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා උදෑසන 6.58ට පමණ සුමත්‍රා දූපත ආසන්නයේ සිට පැයට කිලෝමීටර් 800ක තරම් වේගයකින් කඩා වැදුණු චණ්ඩ රළ පහර මෙරට ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් බිලිගත්තේ තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන් කරමින්ය.

සුනාමි ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූ, තවමත් අනන්‍යතාව තහවුරු කරනොගත් පුද්ගලයින් 137කගේ සිරුරු කොටස් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ අදටත් මෙලෙස සුරක්ෂිතව පවතී. 

එලෙස තැන්පත්කර ඇත්තේ සුනාමි ඛේදවාචකය සිදුවී මාස 06ත් 09ත් අතර කාලය තුළ තෙල්වත්ත සහ පැරෑළිය ආශ්‍රිත කඩොලාන සහ වගුරුබිම්වල තිබී සොයාගත් සිරුරුවල කොටස් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී පෙරේරා මහතා සඳහන් කළේය.

සිරුරු කොටස් සමග ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, උපැස් යුවළ, ඇතැම් ආභරණ ආදී දෑ පවා අදටත් සුරක්ෂිතව පවතී.

සුනාමි ඛේදවාචකයෙන් පසු මුල් මාස කිහිපයේදී එම සිරුරු කොටස් මියගිය පුද්ගලයින්ගේ ඥාතින්ට හඳුනාගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනයට තබා තිබුණද ඒවායේ අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි විය.

මෙලෙස සුරක්ෂිතව තබා ඇති අස්ථි කොටස් අද වන විට විවිධ පර්යේෂණයන් සහ අධ්‍යයනයන් සඳහා යොදා ගන්නා බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී පෙරේරා මහතා සඳහන් කළේය.