නීතිවිරෝධී වයින් නිෂ්පාදනාගාරයක් වටලයි
December 22, 2023 03:37 pm
මොරටුව, උයන ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ වයින් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවකු සමඟ වයින් තොගයක් සිය භාරයට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.
වයින් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර අන්තර් ජාලය හරහා ඇණවුම් ලබාගනිමින් කාලයක සිට මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකර තිබේ.
පාදුක්ක සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කීර්ති ආරියපාල මහතාට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් නිවසක පවත්වාගෙන ගිය මෙම නීතිවිරෝධී වයින් නිෂ්පාදනාගාරයට ඇතුළු වී වැටලීම සිදුකර තිබිණි.
උත්සව සමය ඉලක්ක කර ගනිමින් වෙනත් කාලවලට වඩා වැඩියෙන් වයින් නිෂ්පාදනය සිදුකර ඇති බවත් සමාජ මාධ්‍ය හරහා කිව් ආර් (QR) සංකේත භාවිතා කරමින් ඉතා ඉහළ මිල ගණන්වලට මෙම වයින් නිෂ්පාදන අලෙවි කර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
එසේම මෙම නීතිවරෝධී බලපත්‍ර රහිත වයින් නිෂ්පාදනාගාරය සඳහා වයින් නිෂ්පාදනය සඳහා වෙළෙඳ බලපත්‍රයක් නිකුත් කිරීමට මොරටුව මහ නගර සභාව කටයුතු කර ඇති බවත් මෙම නීතිවිරෝධී නිෂ්පාදකයින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති අලෙවි ප්‍රදර්ශන සඳහා ද මෙම නීතිවිරෝධී වයින් අලෙවි කර ඇතැයිද සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බවද පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.
මෙම නිෂ්පාදනාගාරයේ තිබී එළවළු සහ පළතුරු යොදා ගෙන සකස් කළ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා වයින් බෝතල් 58ක් සහ වයින් මත්පැන් තොගයක් බෝතල් මූඩි මුද්‍රා තබන යන්ත්‍ර දෙකක්, හිස් බෝතල්, මූඩි තොගයක් ප්රචාරක බැනර් ආදිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මොරටුව උයන ප්‍රදේශයේම පදිංචිකරුවකු වන 59 හැවිරිදි සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.