සයුරෙන් එතෙර
‘JN වන්’ ගැන WHO වෙතින් දැනුම්දීමක්
December 20, 2023 05:42 pm
රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති ‘JN වන්’ නව කොවිඩ් උපප්‍රභේදය හේතුවෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන බලපෑම අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
මේ දක්වා සිදු කරන ලද පර්යේෂණවලින් ඒ බව තහවුරු වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
JN වන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට ඉන්දියාව, අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තා වී ඇති අතර, ශීත ඍතුවත් සමඟ එහි ව්‍යාප්තිය ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම නව කොවිඩ් ප්‍රභේදය අමෙරිකාවෙන් පළමු වරට හදුනාගෙන තිබිණි.
මේ අතර, කේරළ ප්‍රාන්තයෙන් ඉන්දියාවේ ව්‍යාප්තිය ආරම්භ වූ JN වන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත වුවන් 614 දෙනෙකු ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති අතර, එය පසුගිය මැයි මස 21 වැනි දාට පසු ව ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වීම විශේෂත්වයකි.
