වැස්ස ගැන කාලගුණයේ අලුත්ම නිවේදනය

වැස්ස ගැන කාලගුණයේ අලුත්ම නිවේදනය

December 17, 2023   05:52 pm

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පැය 36ට අදාළව අද පස්වරුවේ නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල  ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර නිල්වලා ගංගාව ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සඳහා මීට පෙර නිකුත් කර තිබූ ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ හේතුවෙන් මේ ප්‍රදේශවල ජනතාව සහ පහත්බිම් ආශ්‍රිත මාර්ගවල ගමන්ගන්නා රථවාහනවල රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසටය.