නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ඩබ්.එච්.කේ.එස් පීරිස් පත් කරයි
December 16, 2023 11:11 am
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා පත්කර තිබේ.
දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ මහතාව පත්කර ඇත.
මෙම ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම එතුමා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වශයෙන් රාජකාරි සිදුකර තිබිණි.
එතුමා පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා පසු ව යුද හමුදාවට සම්බන්ධ වී ඇත්තේ, 1988 වසරේ දී ය.
පසු ව එතුමා දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් වී 1990 ජුනි මස 09 වනදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල හමුදා රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි සිදු කර ඇත.
යුද හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් හරේන්ද්‍ර පිරීස් මහතා 2021 මැයි මස 07 වනදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
