ඇවිළෙන කන්දකාඩුවේ මහ රෑ දැවැන්ත මෙහෙයුමේ කිසිවෙකු නොදත් කතාව

ඇවිළෙන කන්දකාඩුවේ මහ රෑ දැවැන්ත මෙහෙයුමේ කිසිවෙකු නොදත් කතාව

December 12, 2023   08:17 pm

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රියේ පළාගිය රැඳවූවන් 138 දෙනා අතරින් 129 දෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් රැඳවූවන් 09 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් අධිකරණ නියෝගවලට අනුව පුනරුත්ථාපනය කෙරෙන, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ අවස්ථා දෙකකදී  ඇති වූ නොසන්සුන්තාවන් හේතුවෙන් එහි රැඳවූවන් 138 දෙනෙකු පළාගොස් තිබුණි.

අනතුරුව ඔවුන් සොයා පොලීසිය සහ හමුදාව සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

ඒ, පොලොන්නරුව - සෝමාවතිය මාර්ගයේ සුංගාවිල කැලෑබද ප්‍රදේශවලදීය.

පළාගිය රැඳවූවන් අතරින් 102 දෙනෙකු පොලීසිය විසින් ඊයේ රාත්‍රියේම අත්අඩංගුවට ගනු ලැබීය.

සෝදිසි මෙහෙයුම් තවදුරටත් දියත් කෙරුණු අතර ඒ අනුව අද පෙරවරුවේ සහ දහවල් කාලයේ තවත් රැඳවූවන් 27 දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රැඳවූවන්වන්ගෙන් 78 දෙනෙකු අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් දෙසැම්බර් 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවූවන් 25 දෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධාගාරගතකර තිබේ.

වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් පිරිසක් පසුගිය වසරේ නොවැම්බර් මස 07 වැනිදාද පළායාමේ සිදුවීමක් වාර්තා වුණි.

ඒ එම මධ්‍යස්ථානයේ රැඳවූවකු සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයක් මුල් කරගනිමිනි.