'දම් මුහුණැති කළු වඳුරා' වඳවී යාමේ තර්ජනයක

'දම් මුහුණැති කළු වඳුරා' වඳවී යාමේ තර්ජනයක

December 5, 2023   02:21 pm

‍බස්නාහිර පළාතට ආවේණික "දම් මුහුණැති කළු වඳුරා" වඳවීමේ තර්ජනයකට ලක් ව ඇති බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේ සිදුවෙමින් පවතින දැඩි නාගරීකරණයත් සමග එම සතුන්ගේ වාසස්ථාන ඔවුන්ට අහිමි වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් එම වඳුරන් නිවෙස් වෙත ඇදී ඒම ද බහුලව දක්නට ලැබෙන බව වාර්තා වේ.

එහිදී වදුරන් විවිධ අනතුරුවලට ලක්ව මියයෑම් සහ ආබාධවලට ලක්වීම් සිදුවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වඳුරන්ට අමතරව බස්නාහිර පළාතේ වෙසෙන ඉත්තෑවන්, හාවන් සහ විවිධ පක්ෂී විශේෂයන්ට ද නාගරීකරණයත් සමග සිය වාසස්ථාන අහිමි වී තිබේ.

එහිදී විවිධ ආබාධයන්ට ලක්වන සතුන් අත්තිඩිය වනජීවී පුනරුත්තාපන මධ්‍යස්ථානය මඟින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී වනෝද්‍යාන වෙත මුදාහැරීම සිදුකරන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.