පිය සෙනෙහසට නිගා කළ පියාව ඝාතනය වූ හැටි

පිය සෙනෙහසට නිගා කළ පියාව ඝාතනය වූ හැටි

December 4, 2023   02:09 pm

අන්තර් ජාලයට එක්කර මුදල් සෙවීමේ අරමුණින් 14 හැවිරිදි තම එකම දියණියගේ නිරුවත් ඡායාරූප බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ දැරූ පියෙකුව ඔහුගේ බිරිඳ විසින් කපා කොටා ඝාතනය කරන ලද සිද්ධියක් කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයෙන් වාර්තා වුණි. 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහායක උපස්ථායකයෙකු ලෙස සේවය කළ 37 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇත. 

ඊයේ (3) සවස නිවස තුළදීම මෙම ඝාතනය සිදුව ඇති බවද පොලීසිය පවසයි. 

ඔහුගේ දියණිය 14 හැවිරිදි වියේ පසුවන අතර පුත්‍රයා 9 හැවිරිදි වියේ පසුවේ.

සැමියා නිවසේ නාන කාමරය තුළ සිටියදී බිරිඳ විසින් ඔහුට මිරිස් කුඩු ගසා ඇති අතර, පසුව කඩුවකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

මරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාළිකාවක් ආරම්භ කර ඇති අතර, එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ඡායාරූප එක් කරමින් සිටි අයෙකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

ඒ සඳහා ඔහු අවස්ථා කිහිපයදීම තම එකම දියණියගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට සඳහා උත්සාහ දරා ඇතත් දියණියගේ සහ බිරිඳගේ දැඩි විරෝධය මත එම කාර්යය ඉටුකර ගැනීමට ඔහුට හැකියාවක් ලැබී නොමැත.

මේ හේතුවෙන් මියගිය පුද්ගලයා තම බිරිඳ සමඟ නිරතුරුවම ආරවුල් ඇති කරගෙන බිරිඳට පහරදීම් පවා සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

බිරිඳ සහ පුත්‍රයාව නිවසින් එළියට දමා දොර වසා දියණිය නිවස තුළ තනිකර ඇගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දී එය ඉවසා ගත නොහැකිව බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇත.

සැමියා මෙල්ල කිරීමට ඇය පළමුවෙන් මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇතත්, එය ව්‍යර්ථ වීම හේතුවෙන් කඩුවෙන් පහරදී ඇතැයි අනාවරණය වුණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ බිරිඳව වැල්ලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඇය වෘත්තීයෙන් ඇඟලුම් කම්හල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.