ක්‍රීඩා ඇමතිට අධිකරණයෙන් නියෝගයක්

ක්‍රීඩා ඇමතිට අධිකරණයෙන් නියෝගයක්

November 28, 2023   07:35 pm

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ කිකට් අත්තර් පාලක මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නව ක්‍රිඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

ඊට අදාළ පෙත්සම හයවන දිනට අද කැඳවු අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙරවරුවේ පෙත්සම යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

"ස්වාමිනි මාගේ සේවාදායකයා ගොනුකරන ලද මෙම පෙත්සමේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව මම අධිකරණයට දැනුම් දෙන්න කැමතියි. ඒ අනුව නව ක්‍රීඩා අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දු මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

එහිදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා  කියා සිටියේ තම සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බැවින් ඔහු වෙනුවෙන් තමා පෙනී සිටින බවය.

මෙහිදී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා පෙනී සිටි අතර සිය සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කිරීම සඳහා ඔහු අධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය. 

එමෙන්ම මෙම නඩුව මීළඟ දින කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව තම සේවාදායකයා කිසිඳු පියවරක් නොගන්නා බව අධිකරණයට දැනුම් දුන් නීතිඥවරයා නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යාශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ දැරූ ස්ථාවරයේම තවදුරටත් පසුවන බවය.

අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට තමන් මතුකළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද අභියාචනාධිකරණය ඔහුගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.