පූජ්‍ය මාලේවන සෝභිත නාහිමියෝ අපවත් වෙති

පූජ්‍ය මාලේවන සෝභිත නාහිමියෝ අපවත් වෙති

November 17, 2023   10:05 pm

මාලේවන විහාරගනයේ අධිපති ආයුර්වේද වෛද්‍ය විශාරද අතිපූජ්‍ය මාලේවන සෝභිත නාහිමියෝ අපවත් වී තිබේ.

ශාසනික වශයෙන් බොහෝ සේවාවන්හි නියැලි සිටි උන්වහන්සේ රෝගාතුරව සිට අද (17) පෙරවරුවේ  අපවත් වූහ.

ලොකු කුඩා පිරිස් අතර ජනප්‍රිය වූ මාලේවන සෝභිත හිමි සිය ධර්ම ශාස්ත්‍ර ගමන බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙනෙන් ආරම්භ කෙරිණි.

ද්විතීක අධ්‍යාපනය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ලැබූ උන්වහන්සේ එහිදී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.  

දඹදිව දී සිය පාරම්පරික උරුමය වූ ආයුර්වේදය පිළිබඳව හදාරන අතරතුර දී සිය ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු මාලේවන විහාර පරපුර භාරගෙන කටයුතු කරන්නට වූහ. 

පූජ්‍ය මාලේවන ශ්‍රී ඤාණිස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෙන් පසු මාලේවන විහාර ගණයේ අධිපතිත්වයට පත් සෝභිත නාහිමියෝ විහාරස්ථාන පෝෂණය කරමින් එහි සංවර්ධනයට ක්‍රියා කළහ. 

එපමණක් නොව බේරුවල කුරුඳුවත්ත ශ්‍රී ශෛලබිම්බාරාමය සිය කේන්ද්‍රස්ථානය කරගනිමින් සප්ත මහා විහාර දෙස් විදෙස් පතළ පුණ්‍යායතන බවට පත් කරන්නට කටයුතු කළහ.

විහාරස්ථානයට සම්බන්ධව විවිධ ආයතන ඇති කරමින් බෞද්ධ ප්‍රබෝධයට පුරෝගාමීව කටයුතු කළහ.

සෝභිත නාහිමියන්ගේ චරිතයේ වැදගත්ම සන්ධිස්ථානය වුයේ, මාලේවන ශ්‍රී ඤාණිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ඇරඹීමය. 

සිය ගුරුදේවයන් වහන්සේට කෘතෝපහාරයක් ලෙස ඇරඹි එම විද්‍යාලය මඟින් මේ වන විට වෛද්‍යවරුන් 400කට අධික ප්‍රමාණයක් දැයට බිහි කොට ඇත. 

මාලේවන ආයුර්වේද සංකීර්ණය නවීන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරමින් එහෙත් සාම්ප්‍රදායික වෛද්‍ය ශාස්ත්‍රය රැක ගනිමින් සෝභිත නාහිමියන් සිය වෛද්‍ය සේවාව නොපිරිහෙලා ඉටු කළේය.

කොළඹ 05, මාලේවන රසායනාගාරය සහ කුරුඳුවත්ත ආයුර්වේද සංකීර්ණය උපයෝගී කොට ගනිමින් වෛද්‍ය සේවයෙහි නිරත වෙන උන්වහන්සේ විශාල මුදලක් නොමිලේ ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම සඳහා අසරණ රෝගීන් වෙනුවෙන් වැය කළහ.

ගිහි ප්‍රජාව මෙන්ම පැවිදි ප්‍රජාව අධ්‍යාපනයෙන් සන්නද්ධ කරමින් මාලේවන ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන ඇරැඹීමට කටයුතු කිරීම උන්වහන්සේගේ ශාසනික සේවාවේ විශිෂ්ට අවස්ථාවකි.