STF භාරයත් ගත් කන්ටේනරය ගැන රේගුවෙන් විශේෂ නිවේදනයක්

STF භාරයත් ගත් කන්ටේනරය ගැන රේගුවෙන් විශේෂ නිවේදනයක්

November 17, 2023   07:11 pm

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිය භාරයට ගත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් සහිත කන්ටේනර් රථය පිළිබඳ ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ අදාළ බහාලුම පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විමර්ශනයක් දියත් කර තිබූ බවය.

එම විමර්ශනයේ කොටසක් ලෙස බහාලුමේ අඩංගු ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා කොළඹ වරායේ සිට ඔරුගොඩවත්ත RCT බහාලුම් පරීක්ෂණ අංගනය වෙත රේගු මුද්‍රා යටතේ ප්‍රවාහනය කරමින් තිබිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙහෙයුමක් දියත් කර එය ඔවුන් භාරයට ගෙන ඇති බව අදාළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව දැනට බහාලුම ග්‍රෑන්ඩ්පාස් පොලීසිය භාරයේ ඇති අතර, අද (17) දින මේ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ශ්‍රී ලංකා රේගුව විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ බහාලුම නැවත ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට අධිකරණය නියෝග කර ඇත.

එම බහාලුම පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්වීම නිසා ඇනහිට තිබූ රේගු විමර්ශනය ඉතා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.