මධ්‍යම පරිසර අධිකාරියේ වෘත්තීය සංගම්වලින් ඒකාබද්ධ නිවේදනයක්
November 17, 2023 03:22 pm
මධ්‍යම පරිසර අධිකාරියේ සේවාවන් ලබාගැනීමේ දී පුද්ගලයින්ට හෝ ආයතනයකට අල්ලස් ලබාදීමට සිදුවී ඇත්තනම් ඒ පිළිබඳව තොරතුරු අදාළ විමර්ශන ආයතන වෙත ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.
අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ වෘත්තීය සංගම් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කිසිදු පුද්ගලයෙකුට අල්ලස් ලබානොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.
මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකාවේ පාරිසරික කළමනාකාරීත්වය පිළිබඳ ජාතික නියාමන ආයතනයක් වන අතර, එය ජාත්‍යන්තර පාරිසරික සම්මුතීන් ජාතික මට්ටමේ ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය ලෙස ද කටයුතු කරනු ලබන බැවින් මෙම අධිකාරියේ සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීමේ දී ජාතික පාරිසරික පනත අනුව මධ්‍යම පරිසර අධිකාරියේ කීර්තිනාමය ආරක්ෂා කළ හැකි පරිනත අත්දැකීම් සහිත පුද්ගලයෙක් පත්කරන ලෙස ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට පත්වූ අතර, ඔහු සමග අත්අඩංගුවට පත්වූ අනෙක් පුද්ගලයින් දෙදෙනා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් නොවන බව ද එම නිවේදනයේ අවධාරණය කර තිබේ.
එනිසා මෙම අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එයට සම්බන්ධ වූවන්ට තරාතිරම නොතකා දැඩි දඬුවම් පමුණුවන ලෙසත් අධිකාරියේ නිලධාරීන් මේ සඳහා සම්බන්ධ වී ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ද එලෙස ම කටයුතු කරන ලෙස ද එම වෘත්තීය සංගම් දැඩි ලෙස අවධාරණය කර ඇත.
වෘත්තීය සංගම් විසින් නිකුත් කළ සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.