දීපාවලී උත්සවය අදයි

දීපාවලී උත්සවය අදයි

November 12, 2023   08:03 am

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදයි. 

ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලී දිනය හින්දු බැතිමතුන් ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.

නව සඳ උදා වීමට සමගාමී ව යෙදෙන දීපවාලී උත්සවය හරහා අයහපත පරදා යහපතත් අදුර පරදා ආලෝකය උදා වීමත් සංකේතවත් කෙරේ.

මෙවර දීපවාලී උත්සවය සැමරීම සඳහා මෙරට හින්දු ජනතාව දැඩි උනන්දුවක් දක්වන බව අද දෙරණ වාර්තාකරුවෝ සඳහන් කරති.

වි‍ශේෂයෙන් වතුකරයේ ජනතාව පෙර වර්ෂවලට සාපේක්ෂ ව උත්කර්ෂවත් අයුරින් දීපවාලී උත්සවය සැමරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ අතර, දීපවාලී උත්සවය නිමිත්තෙන් අද (12) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන්හල් වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

ඊට අමතර ව මහියංගනය සහ රිදී මාලියද්ද යන ප්‍රදේශවල හැර බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලු මත්පැන්හල් ද අද දිනය තුළ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, දීපවාලී උත්සවය නිමිත්තෙන් සියලු දමිළ පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඒ වෙනුවට නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා දින අදාළ පාසල් පැවැත්විය යුතු බව එම අමාත්‍යාංශය පෙන්වා  දෙයි.

දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, ජනතාව ගේ ප්‍රවාහන පහසුකම් බාධාවකින් තොර ව සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ඩිපෝ වෙත උපදෙස් ලබා දී ඇති බවයි.