පෙර පාසල් ගුරුවරියගෙන් කප්පම් ඉල්ලූ ග්‍රාම නිලධාරී ගැන තවත් තොරතුරු
November 11, 2023 07:57 pm
තමන් පතාල නායකයෙකු බව පවසා මරණීය තර්ජන එල්ල කරමින් හෝමාගම සුවපුබුදුගම පදිංචිව සිටි පෙරපාසල් ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලූ සුවපුබුදුගම ග්‍රාම නිලධාරීවරයා මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු එම මුදල ඉල්ලා එම ගුරුවරියට මාස දෙකක පමණ කාලයක් වරින් වර දුරකතන ඇමතුම් ලබාදී තිබුණි.
සැකකරු - "හෙලෝ... නෝනා අපි මේ අර, මුදල් වගයක් සම්බන්ධයෙන් මීට පෙර කතා කළේ.."
පෙරපාසල් ගුරුවරිය - "අපි ගාව සල්ලි නැහැ. අපි බොහෝම අමාරුවෙන් ජීවත්වෙන්නේ.."
සැකකරු - "කීයක් වගේ දෙන්න පුළුවන්ද කියලා කියන්න."
පෙරපාසල් ගුරුවරිය - "මම මේ මොන්ටිසෝරියක වැඩකරලා ඒකෙන් තමයි ළමයි ඉස්කෝලේ යවලා කාලා බීලා ජීවත්වෙන්නේ."
සැකකරු සඳහන් කර ඇත්තේ අදාළ මුදල් ප්‍රමාණය ලබානොදෙන්නේ නම් පෙරපාසල් ගුරුවරියට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන බවය.
සැකකරු - "නෝනගෙන් ලක්ෂ 10ක් ඉල්ලුවා. ඒක ලැබුණේ නැහැ. දැන් ලක්ෂ 20ක් තමයි සංවිධානයෙන් නියම කරලා තියෙන්නේ. නැත්නම් වෙඩි තියන්න කියලා තියෙන්නේ. එතකොට නෝනා මොකද කරන්නේ ?"
පෙරපාසල් ගුරුවරිය - "ඔයාට මාව මරලා දාන්න ඕනේනම් මරලා දාන්න."
සැකකරු - "දුවට පාරෙදි ඇසිඩ් ගහලා මුහුණ විකෘති කරලා දාන්න කියලා තමයි නියෝගය ඇවිත් තියෙන්නේ."
පෙරපාසල් ගුරුවරිය - දුවට ඇසිඩ් ගැහුවත්, මට තියා මහත්තයාට ඇසිඩ් ගැහුවත් අපි මොකද කරන්නේ ?"
සැකකරු - "හෙට කරදරේ වැටෙන්න කලින් මොකක්හරි කරගන්න."
පසුව රුපියල් ලක්ෂයක මුදලක් අදාළ ගුරුවරිය සේවය කරන පෙරපාසල අසල දැන්වීම් පුවරුවක් ආසන්නයේ තබා යන්නැයි කළ දැනුම් දීමෙන් පසු මුදල ලබාගැනීමට සැකකරු පැමිණ තිබුණි.
එම අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.