කලක් තිස්සේ පැවතුණු ක්‍රිකට් අර්බුදයේ පුපුරා යෑම
November 11, 2023 01:11 pm
වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කරන බව ඊයේ (10) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබිණි.
එම නිවේදනයේ සඳහන් වූයේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ එහි නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි වීමත් සමඟ ශ්‍රී ලංකාවට පැනවෙන ක්‍රිකට් තහංචි සම්බන්ධයෙන් තීරණ ගැනීම මේ මස 21 වැනිදා අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමේ දී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත් 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවිය අනාවරණය කරන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සිදු ව ඇති රාජ්‍ය මැදිහත් වීම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබූ බවයි.
එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කර ඇති බව 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවිය සඳහන් කරයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි වීම හදිසියේ සිදු වූවක් නොවන බව පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් පිළිබඳ සොයා බැලීමේ දී පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර පසුගිය කාලය පුරා දිගින් දිගටම ලිපි හුවමාරු විය.
රාජ්‍ය මැදිහත් වීමකින් තොර ව ස්වාධීනව ක්‍රිකට් පරිපාලනය සිදු කරගෙන යාමට ඉඩලබාදිය යුතු බව මේ වසරේ අප්‍රේල් මස 11 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබිණි.
ඉන් අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් එල්ල වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පත් කළ කමිටුවේ සාමාජිකයකු වන ඉම්රාන් කවාජා මේ වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිවලට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉඩ ලබා දෙන ලෙසත් ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදු නොකරන ලෙසත් ඉම්රාන් කවාජා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී දන්වා තිබිණි.
අනතුරු ව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා යොමු කළ ලිපියකට පිලිතුරු සපයමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා රාජ්‍ය මැදිහත් වීම් නොකරන ලෙස අනතුරු අඟවා තිබිණි.
ඉන් නොනැවතුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔක්තෝබර් මස 23 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබුණේ, ලබන වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මේලනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහාත් ලබන වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහාත් අවසර ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා රාජ්‍ය මැදිහත් වීම් සිදුනොවන බව සහතිකයක් ලබාදිය යුතු බවයි.
එවන් පසුබිමක මෙවර ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසයත් සමඟ ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනයට සහ කළමනාකාරිත්වයට ක්‍රීඩාලෝලීන් ඇතුළු පිරිස දැඩි විවේචන එල්ල කළහ.
එම විරෝධතාත් සමඟ ක්‍රියාත්මක වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අත්හිටුවා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සිදු කරගෙන යාම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහාතා ගේ සභාපතිත්වයෙන් යුත් අන්තර් පාලන මණ්ඩලයක් පත්කරනු ලැබීය.
නමුත් පසුදිනම අන්තර්පාලන මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එවන් පසුබිමක නෙවැම්බර් 06 වැනිදා අප ගේ ප්‍රධාන පුවත් විකාශයෙන් අප ප්‍රශ්න කළේ, අමාත්‍යවරයා ගේ මෙම ක්‍රියා කලාපය හමුවේ මෙරට රග්බි සහ පාපන්දු ක්‍රීඩාවට අත් වූ ඛේදනීය ඉරණම ක්‍රිකට් ක්‍රීඩාවටත් අත්වුවහොත් අමත්‍යවරයා ගන්නා පියවර කුමක් ද යන්නයි.
එම ප්රශ්නය අප මතු කළ ද අර්ජුන රණතුංග මහතා ඇතුළු පාර්ශ්ව සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ ගත් මෙම තීරණය නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.
මෙවැනි වාතාවරණයක් යටතේ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එමින් එය ඒකමතික ව සම්මත කර ගනු ලැබීය.