ගාසා තීරයේ ළමා මරණ ගැන විශේෂ අනාවරණයක්
November 8, 2023 03:34 pm
ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි 'ගාසා සිටි' නැත්නම් ගාසා නගර මධ්‍යයට පිවිස සිටින ඊශ්‍රායල ගොඩබිම් හමුදා එහි හමාස් භූගත උමං පද්ධතිය විසුරුවා හැරීමට සූදානම් බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාවලට හමාස් සටන්කාමීන් ගෙන් දැඩි ප්‍රතිරෝධයක් එල්ල වන බව වාර්තා වේ.
එමෙන්ම ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයෙන් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බව සාමාන්‍ය ඊශ්‍රායල වැසියන් ගේ අදහස වී ඇත.
මේ නිසා භූගත උමං පද්ධතිය පුපුරුවා හැරීම අනතුරුදායක විකල්පයක් බව පැහැදිලි වේ.
විශේෂයෙන් හමාස් සංවිධානය විසින් මෙහි දී යුද ටැංකි නාශක බෝම්බ යොදාගන්නා අතර, එලෙස හමාස් ප්‍රහාරවලින් විනාශ වූ බව කියන යුද ටැංකිවල දර්ශන සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වෙමින් පවතියි.
පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු සටන්වල දී මිය ගිය ඊශ්‍රායල හමුදා සෙබළුන් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ.
එක්සත් ජාතීන් ගේ සංවිධානය ප්‍රකාශ කරන පරිදි දැන් මාසයකට වැඩි කාලයක් ගාසා තීරයට, ආහාර සහ ජලය නොලැබෙන අතර, එහි සිටින පලස්තීනුවන් සිය නිවෙස්වල ඉතිරි වී ඇති පිටිවලින් පාන් තනා ගැනීමටත් ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් දූෂිත වූ ජල මූලාශ්‍රවලින් අපිරිසිදු ජලය පානය කිරීමටත් පෙළඹී ඇත.
ජාත්‍යන්තර සහන සංවිධාන ගාසා තීරයට සහනාධාර හැකි තාක් රැගෙන ඒමටත් විදේශිකයන් ඊජිප්තුවේ රෆා පිවිසුම හරහා ඉවත් කරගැනීමටත් කටයුතු කරමින් සිටියි.
එහෙත් ඊශ්‍රායලය නොනවත්වා එල්ල කරන බෝම්බ ප්‍රහාර හේතුවෙන් එලෙස ගාසා තීරයට සහනාධාර රැගෙන යාම දුෂ්කර අභියෝගයකි.
අන්තර්ජාතික රතු කුරුස කමිටුව ප්‍රකාශ කළේ, ගාසා නගරය වෙත ගමන්ගත් සිය සහන රථ පෙළකට ද ඊශ්‍රායල හමුදාව වෙඩි තැබූ බවයි.
කෙසේ නමුත් මාර්ගය වෙනස් කොට ගාසා සිටිහි අල් ෂිෆා රෝහල් වෙත අත්‍යවශ්‍ය ඖෂධ ආදී සැපයුම් සිදු කිරීමට රතු කුරුස රථ පෙළ සමත් වී තිබේ.
ගාසා නගර මධ්‍යයේ මෙහෙයුම්වලට සහනයක් ලෙස ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර උත්සන්න කර ඇති බව වාර්තා වේ.
ගාසා නගරයේ වැසියන්ට ඉවත් වීම සඳහා ඊයේ පැය 04ක කාලයක් ලබාදුන් බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළ ද දැන් එහි සිටින ජනතාව ප්‍රකාශ කරන්නේ, ගාසා තීරයේ කොතැනක වත් දැන් ආරක්ෂිත නොවන බවයි.
නාඳුනන නිවසක හෝ කඳවුරක මිය යාමට වඩා තමන් ජීවත් වෙන ගාසා තීරයේ නිවෙස්වලම මිය යාම ඔවුන් ගේ තේරීම බව විදෙස් මාධ්‍යය සඳහන් කරයි.
මේ අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල සහ රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ටෙල් අවීව් නුවර සයිරන් නලා හඬ අසන්නට ලැබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගාසා නගර මධ්‍යයට පිවිස සිටින ඊශ්‍රායල හමුදාවල එකම ඉලක්කය හමාස් සංවිධානයේ යටිතල පහසුකම්, බංකර, සන්නිවේදන පහසුකම්, අණ දෙන්නන් ඇතුළු හමාස් සාමාජිකයන් විනාශ කිරීම බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් ප්‍රකාශ කර ඇත.
මාසයක් තිස්සේ ඊශ්‍රායල හමුදා එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට ගාසා තීරයේ පලස්තීනුවන් 10,000කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ඉන් 4000කට වැඩි සංඛ්‍යාවක් ළමුන් බව සඳහන්ය.
'සේව් ද චිල්රන්' ආයතනය සඳහන් කළේ, ගාසා තීරයේ ළමා මරණ ලොව අනෙකුත් යුද බිම් සියල්ලේම ළමා මරණ ඉක්මවන බවයි.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ළමුන් ඝාතනය කිරීම අඛණ්ඩ ව සිදු කෙරෙන බවට ළමුන් සුරැකීමේ පලස්තීන ජාත්‍යන්තරය ද ප්‍රකාශ කර ඇත.
පලස්තීනුවන්ට සහාය පතා බටහිර ඉවුරේ රමල්ලාහි දී ඊයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
එහි දී විශේෂයෙන් ගාසා තීරයේ වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට සහාය දැක්වීම සිදු විය.
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට මිය ගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 37කි.
පලස්තීනුවන්ට සහාය දක්වන විරෝධතා රැලි ලෙබනනයේ බීරූට් සහ අමෙරිකාවේ නිව්යෝක් නුවර දී පැවැත්විණි.
නිව්යෝක් විරෝධතාවේ දී විරෝධතාකරුවන් සුප්‍රකට බෘෘක්ලින් පාලම හරහා පා ගමනක ද නිරත වූ බව සඳහන්ය.
මේ අතර, සිය පුරවැසියන් 200කට වැඩි සංඛ්‍යාවක් ගාසා තීරයේ සිට රෆා පිවිසුම හරහා නික්මුණු බව ජර්මනිය ප්‍රකාශ කර තිබේ.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩි මාකෝස් ප්‍රකාශ කළේ, රෆා පිවිසුම හරහා සිය පුරවැසියන් 40 දෙනෙකු ඊජිප්තුවට පළාවිත් ඇති බවයි.
ඔවුන් කයිරෝ නුවර සිට ගුවන් මගින් පිලිපීනයට ගෙන්වා ගන්නා බව ජනාධිපති මාකෝස් ප්‍රකාශ කර ඇත.
මේ අතර, ගාසා මෙහෙයුම් අවසන් වූ පසු නිශ්චිත ව සඳහන් කළ නොහැකි කාලයක් එහි සමස්ත ආරක්ෂක වගකීම් ඊශ්‍රායලය වෙත පවරා ගන්නා බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ ප්‍රකාශය ඉමහත් ආන්දෝලනයට ලක් වී තිබේ.
එයින් අදහස් කරන්නේ, ගාසා තීරය නැවතත් ඊශ්‍රායලයේ පාලනයට යටත් කිරීම නම් එමගින් දැඩි ප්‍රතිවිපාක ඇති විය හැකි බව ආරක්ෂක විශ්ලේෂකයන් ගේ අදහසයි.
එලෙස ගාසා තීරය නැවතත් ඊශ්‍රායල පාලනයට නතු කර ගැනීම සිදු කළ යුතු නිවැරදි ක්‍රියාමාර්ගයක් නොවන බව ජනාධිපති ජෝ බයිඩ්න් ගේ විශ්වාසය යැයි ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර ඇත.
ඊශ්‍රායල අගමැතිවරයා කියා සිටියේ, ගාසා තීරයේ ආරක්ෂක වගකීම් තමන්ට පවරා ගත නොහැකි නම් හමාස් සංවිධානය යළි යළිත් නැඟී සිටීමේ හැකියාවක් පවතින බවයි.
යුද්ධයෙන් පසු ගාසා තීරය හමාස් ප්‍රහාරයකට ඉඩ සලසන ආකාරයෙන් නොපැවතිය යුතු බව අමෙරිකාවේ ද අදහස බව ඔහු කියා සිටියි.
එහෙත් යුද්ධයෙන් පසු ගාසා තීරය පැවතිය යුත්තේ කවර ආකාරයෙන් ද සහ එහි පාලනය කවර අන්දමින් සිදු විය යුතු ද යන්න පිළිබඳ ඵලදායී සංවාද පෙළක් පැවැත්විය යුතු බව ධවල මන්දිර ප්‍රකාශකයා අවධාරණය කර ඇත.
මේ අතර, ඊශ්‍රායල - පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞදි අරාබිය විසින් අරාබි සහ ඉස්ලාමීය රටවල සමුළුවක් කැඳවා තිබේ.
සෞදි ආයෝජන අමාත්‍ය ඛාලිඩ් අල් ෆලී සිංගප්පූරුවේ පැවැත්වෙන බ්ලූම්බර්ග් ආර්ථික සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත.
සෞදි අරාබියේ පුරෝගාමීත්වයෙන් පැවැත්වෙන එම සමුළුවේ අරමුණ ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් අත්කර ගැනීම බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඉස්ලාමීය සහයෝගීතා සමුළුවට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ද ලබන ඉරිදා සෞදි අරාබිය වෙත යාමට නියමිතය.
වසර ගණනාවක් පුරා පැවැති මතභේද දුරලමින් ඉරානය සහ සෞදි අරාබිය පසුගිය මාර්තුවේ නැවතත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත්තේ චීනයේ මැදිහත් වීමෙනි.
ඉන්පසු ඉරාන ජනාධිපතිවරයෙකු සෞදි අරාබියට පැමිණෙන පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.