ඊශ්‍රායලය කරන්න යන දේ මුල්වරට එළියට
November 7, 2023 04:49 pm
පලස්තීන ගාසා තීරයට සහනාධාර සැපයීමට හෝ හමාස් සංවිධානය විසින් එහි රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් ඉවත් කරගැනීම සඳහා උපක්‍රමීය කෙටිකාලීන සටන් නැවැත්වීම ක්‍රියාත්මක කළ හැකි බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
එහෙත් සටන් විරාමයක් සඳහා කරන ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කරයි.
සටන් විරාමයකට යා යුතු බවට සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියි.
ගාසා තීරයේ උතුරු කොටසේ ජනාකීර්ණ ගාසා නගරය වටකොට සිටින ඊශ්‍රායල හමුදා එහි භූගත උමං මාර්ගවල සැඟවී සිටින හමාස් සටන්කාමීන්ට පහරදීමට සූදානමින් සිටින බව වාර්තා විය.
හමාස් සන්නද්ධ කණ්ඩායම් මීට මාසයකට පෙර දකුණු දිග ඊශ්‍රායලයට කඩාවැදී එහි සිවිල් වැසියන් ඇතුළු 1,400ක් ඝාතනය කර 240 දෙනෙකු පමණ ප්‍රාණඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් තිබුණි.
ඊට ප්‍රතිචාර දක්වමින් ගාසා තීරයට සිදුකෙරෙන අත්‍යවශ්‍ය සැපයුම් සියල්ල කපාහැර මාසයක් තිස්සේ ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම්වලින් මිය ගිය සංඛ්‍යාව ඊයේ දස දහස ඉක්මවීය.
ඉන් 4,100ක් පමණ ළමයින් වීම අවාසනාවකි.
ගාසා තීරයේ සටන් විරාමයන් ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායලය කියා සිටින්නේ මුලින් හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් සියලුදෙනා නිදහස් කළයුතු බවයි.
එහෙත් ගාසා තීරය ප්‍රහාරයට ලක්වනතුරු එලෙස ප්‍රාණඇපකරුවන් මුදාහැරිය නොහැකි බව හමාස් සංවිධානය පවසයි.
පොදු සටන් විරාමයක් තුළින් ඊශ්‍රායල යුද ක්‍රියාමාර්ගය අඩපණ විය හැකි බව පවසන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු, තාවකාලික සටන් නැවැත්වීම් සඳහා එකඟ වී ඇත්තේ අමෙරිකාව විසින් එම යෝජනාව ඉදිරිපත් කිරීම හේතුවෙන් බව සඳහන් ය.
කිසියම් ආකාරයක සටන් නැවැත්වීමකට ඊශ්‍රායලය එකඟ කරවාගන්නා ලෙස ජාත්‍යන්තරයෙන් අමෙරිකාව වෙත එල්ලවන්නේ ද දැඩි බලපෑමකි.
වාර්ෂිකව ඩොලර් බිලියන 3.8ක ආරක්ෂක ආධාර ඊශ්‍රායලයට සපයන අමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායල භූමියේදී මෙන්ම ජාත්‍යන්තර තලයේදී ඊශ්‍රායලයේ ආරක්ෂකයා ලෙස පෙනී සිටියි.
මේ නිසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී මෙතෙක් ඊශ්‍රායලය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් සම්මත කරගැනීමට හැකි වී නැත.
ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළේ ගාසා තීරයට සහනාධාර සැපයීම සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට ඉඩ සලසන තාවකාලික සටන් නැවැත්වීම් ඒ ඒ අවස්ථාව අනුව ක්‍රියාත්මක කරන බවයි.
එය කිසිසේත්ම පොදු සටන් විරාමයක් නොවන බව ඔහු අවධාරණය කළේය.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ නැවතත් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු අමතමින් ඊශ්‍රායලය වෙත සිය සහාය පළකළ අතර, ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබුණි.
එහෙත් සම්පූර්ණ සටන් විරාමයක් මගින් හමාස් සංවිධානයට නැවතත් සිය බලමුළු එක් රැස් කිරීමේ විරාමයක් ලැබෙන බව අමෙරිකාවේ ද අදහස වී තිබේ.
ඊශ්‍රායල අගමැතිවරයා ඊයේ තවත් වැදගත් තීරණයක් ඊයේ ප්‍රකාශයට පත් කළේය.
ඒ, යුද්ධය අවසන් වූ පසු නිශ්චිත නොවූ කාලසීමාවක් ගාසා තීරයේ ආරක්ෂාව ඊශ්‍රායලයට භාරයට ගන්නා බවයි.
මෙලෙස ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් ස්ථිරසාර අදහසක් නොදැරුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එවැනි මානුෂීය සටන් විරාමයක් වහා ක්‍රියාත්මක කරන ලෙස අඛණ්ඩව ඉල්ලා සිටියේය.
ඊශ්‍රායලය විසින් ඉවක් බවක් නොමැතිව ගාසා තීරයට එල්ල කරන දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ එහි මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බැවින් වහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනලෙස එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල ප්‍රධානීන් 18 දෙනෙකුගේ අත්සන්වලින් යුත් විවෘත ආයාචනයක් ඊයේ නිකුත් කර තිබුණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ගෙබ්‍රියෙසස් සහ එක්සත් ජාතීන්ගේ සහනාධාර ප්‍රධානී මාටින් ග්‍රිෆිත්ස් එම ප්‍රකාශයට අත්සන් තැබූ ජගත් සංවිධාන නියෝජිතායතන ප්‍රධානීන් අතර වෙයි.
මේ අතර ගාසා තීරයේ පලස්තීන මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා යද්දී ගාසාවේ දැන් පවතින්නේ මානූෂවාදී අර්බුදය ඉක්මවා ගිය තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අත්තෝනියෝ ගුටේරස් පවසයි.
ඊශ්‍රායල ප්‍රහාරවලින් දැනටමත් ළමයින් 4,100ක් මිය ගොස් ඇති අතර ගාසා තීරයේ ළමයින්ගේ සුසානයක් බවට පත්වී ඇති බව ඔහු කියා සිටියා. සිය ගණන් ළමයින් දිනපතා මිය යාම හෝ තුවාල ලැබීම සිදුවන බව ජගත් සංවිනධාන මහලේකම්වරයා සඳහන් කළේය.
පසුගිය දශක තුන තුළ වෙනත් කිසිදු සටන් බිමකදී නොවූ විරූ ආකාරයෙන් ගත වූ මාසයක කාලය තුළ ජනමාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ කිසිදු කලක වාර්තා නොවූ තරම් එක්සත් ජාතීන් සහන සේවකයන් පිරිසක් ගාසා තීරයේදී මිය ගොස් ඇති බව ජගත් සංවිධාන මහලේකම්වරයා කියා සිටියේය.
ගතවන සෑම පැයක් පාසාම සටන් විරාමයක අවශ්‍යතාව මතුවන බවත්, ගාසා තීරයේ අමානුෂීය වේදනාවන් සමනය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ මූලික සහ කඩිනම් වගකීමක් බවත් ජගත් මහලේකම්වරයා අවධාරණය කළේය.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෝහල්, සරණාගත කඳවුරු, දේවස්ථාන මෙන්ම ජගත් සංවිධාන රැකවරණ මධ්‍යස්ථානවලට පවා බෝම්බ හෙළන බව මහලේකම් ගුටේරස් පැවසීය.
මේ අතර ඊජිප්තුවේ රෆා පිවිසුම හරහා ගාසා තීරයේ සිටි විදේශිකයන් සහ තුවාල ලැබූ පලස්තීනුවන් ඉවත් කරගැනීම තවදුරටත් සිදුවෙයි.
එහෙත් ගාසා තීරයේ පලස්තීනුවන් විශාල වශයෙන් රෆා පිවිසුම හරහා සිනායි කාන්තාර ප්‍රදේශයට පැමිණීම ඊජිප්තුව ප්‍රතික්ෂේප කරයි.
ඒ මීට වසර 25කට පෙර ඊශ්‍රායලය බිහිකිරීමේදී පලවාහැරි පලස්තීනුවන් වෙනත් අරාබි රටවල ස්ථිර සරණාගතයන් බවට පත් වූ ආකාරයෙන් මෙවර ද ගාසා තීරයේ පලස්තීනුවන් සිනායි කාන්තාරයට ස්ථිර ලෙස පළවා හැරීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇතැයි ඊජිප්තුව බිය පළ කරයි.
මෙවර වාතාවරණයක් තුළ වුවද ඊශ්‍රායලයට යුද ගුවන් යානාවල සිට නිවැරදිව ඉලක්කයට එල්ල කළ හැකි ඩොලර් මිලියන 320ක් වටිනා අති නවීන බෝම්බ පෙළක් සැපයීමට අමෙරිකාව කටයුතු කරමින් සිටියි.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කළ පරිදි මේ සම්බන්ධයෙන් වූ නිල දැනුම්දීම බයිඩන් පරිපාලනය විසින් යවා ඇත්තේ පසුගිය ඔක්තෝබර් 31 වනදා ය.
මේ අතර ගාසා තීරයේ මානුෂීය අර්බුදයට කඩිනම් විසඳුම සටන් විරාමයක් බවට හඬ නැගීමට අමෙරිකා එක්සත් ජනපදයේ යුදෙව් ක්‍රියාකාරීන් රැසක් ද එක්වී සිටියි.
නිව්යෝක් නුවර ලිබර්ටි නැත්නම් නිදහසේ ප්‍රතිමාව පාමුල හිඳගෙන ඔවුන් ගායනා කළේ නාසි ජර්මනියේ යුදෙව් සංහාරයෙන් පසු යුදෙව්වන්ගේ ආයාචනාත්මක වදන් පෙළකි.