ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඉන්දියාවෙන් ඉඟියක්

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඉන්දියාවෙන් ඉඟියක්

November 3, 2023   01:17 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පුළුල් කළ යුතු බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බලශක්තිය එම ආර්ථිකයේ මූලික අංගයක් කළ හැකි බවය.


ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (01) පැවති ඉන්දු - ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවකට එක්වෙමිනි.

නිර්මලා සීතාරාමන් - ඉන්දීය මුදල් අමාත්‍ය 

"අප පොදු අභිලාෂයක් සහිත ක්ෂේත්‍ර කඩිනමින් හඳුනාගත යුතු අතර ඒ සඳහා කාලය අපතේ යැවිය නොහැකියි. මම එහෙම කියන්නේ ඉන්දියාව ශීඝ්‍රයෙන් සංවර්ධනය ලබන ආර්ථිකයක් නිසා. අපේ සාර්ව ආර්ථික තත්ත්වය ශක්තිමත් බව ප්‍රදර්ශනය කර ඇති අතර, විශ්වාසය ගොඩනංවා... වර්ධනයක් ලැබීමට එය ඉවහල් වී තිබෙනවා. ශ්‍රී ලංකාවටත් එය අවශ්‍යයි." 

"ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් අර්බුදයේ ප්‍රකෘතිමත්භාවයට පත්වූ වේගය සලකනවිට ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සතු ශක්තිය එමගින් පිළිබිඹු වන බව කිව යුතුයි. මැදි ආදායම් රටක් බවට පත්වූ ශ්‍රී ලංකාව මෑතකදී ඇතිවූ තත්ත්වයෙන් පසුබට විය යුතු නැහැ. සංචාරක කර්මාන්තය සහ තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සලකුණු කර්මාන්තයක් වුවත්, එය ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස තවදුරටත් පවත්වාගත යුතු වුවත්, ඔබේ ආර්ථික පරාසය තවදුරටත් පුළුල් කළ යුතු බවයි මගේ අදහස වන්නේ. එහිදී අප දෙරටේ නායකයින් සිය ඒකාබද්ධ ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි බලශක්තිය එම ආර්ථික පරාසයේ මූලිකාංගයක් කළ හැකියි. ඉන්දීය කර්මාන්තකරුවන්ට මෙහි පැමිණෙන ලෙස ආරාධනා කරන අතර මෙහි කර්මාන්තකරුවන් සමග ඵලදායී සබඳතාවක් ගොඩනඟ ගත හැකි බවද අවධාරණය කරනවා." 

"මට හිතෙනවා ඔබ දෙපාර්ශ්වයට දැවැන්ත හැකියාවන් සහ හුවමාරුකරගත හැකි බොහෝ දේ ඇති බව. දෙරටේම රජයන් කර්මාන්තවල වර්ධනය උදෙසා පහසුකම් සැපයීම සිදුකළ හැකි ඕනෑම ක්‍රියාවලියකට සූදානම් අතර, එය දෙරටේම දීප්තිමත් අනාගතයක් සඳහා ඉවහල් වෙයි."

ඉන්දීය ආයෝජන ශ්‍රී ලංකාව තුළ දිරිමත් කිරීම සඳහා සියලු පහසුකම් සලසන බවද ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පැවසුවාය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්වුණි. 

‍එහිදී ජනාධිපතිවරයා මෙරට ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ලබාදුන් සහාය පිළිබඳව සිය ස්තූතිය පළකර තිබේ.

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් මෑතකදී පැවැති සාකච්ඡාවලදී ලද ප්‍රගතිය පිළිබඳව සතුට පළ කළ ඉන්දීය මුදල් අමාත්‍යවරිය, ඩිජිටල් ගෙවීම් හුවමාරු සහ ආයෝජන සහාය පිළිබඳව ද අදහස් දක්වා ඇති බව වාර්තා වෙයි.