ඉන්දීය මුදල් අමාත්‍යවරිය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදකී

ඉන්දීය මුදල් අමාත්‍යවරිය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදකී

November 2, 2023   08:30 am

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනුරාධපුර ජය ශ්‍රී මහබෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගෙන ඇතැයි ද වාර්තා වේ.

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (01) පෙරවරුවේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය දිවයිනට පැමිණියාය.

ඇය අද (02) දින ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිතය.

ඊට අමතරව ඇය අද දිනයේ ඉන්දු - ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ද නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද නිර්මලා සීතාරාමන් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට ආගමික ස්ථාන සඳහා සූර්ය කෝෂ ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ද අද දිනයේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඊට අමතරව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සිය සංචාරය තුළ දී ත්‍රීකුණාමලය සහ යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.