වෙඩි ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකිකයා ඊශ්‍රායලට පැමිණ ඇත්තේ අනවසරයෙන්
October 14, 2023 08:33 pm
ජෝර්දාන දේශසීමාව හරහා නීතිවිරෝධීව ඊශ්‍රායලයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයින් බවට සැකකෙරෙන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
ඊශ්‍රායල දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වී ඇතැයි තානාපතිවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් අදාළ කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයින් ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරුවී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන බව තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
"මේ අවාසනාවන්න මොහොතේ ඊශ්‍රායලයේ ඉන්න කිසිවෙක් විදේශ රටවල සංචාරයට යන්නේන නැහැ. විදේශ රටවල රැඳලා ඉන්න ඊශ්‍රායල් ජාතිකයිනුත් ඉක්මනින්ම මොවුන්ගේ රටට පැමිණ යුද හමුදාවට උදව් කිරීමට උත්සාහ කරනවා. මේ නිසා ගුවන්තොටුපොළ විශාල තදබදයක් අපිට දකින්න පුළුවන්. විදේශගත වෙලා ඉන්න ඊශ්‍රායල් ජාතිකයෝ මේ දිනවල නිරන්තරයෙන් නැවත පැමිණිලා හමුදා සමග එක්වීමටත් ඔවුන්ට අවශ්‍ය සේවා සැපයීමටත් නිරන්තරයෙන් ඉදිරිපත් වෙනවා. ඒ අතරතුර ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පිරිසට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ගුවන් ටිකට්පත්වල මිල ඉහළ ගොස් තිබෙනවා. පැමිණෙන ගුවන්යානාවල හිඟතාවය සහ රක්ෂණ ආවරණය වැඩි කිරීම හේතුවෙන්."
"අද උදෑසන අපිට වාර්තාවක් ලැබුණා ඊශ්‍රායල පොලිස් දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලාංකිකයින් යැයි හඳුනාගත හැකි කාන්තාවන් දෙදෙනෙකු ජොර්දානය හරහා ඊශ්‍රායලට ඇතුළුවීමේදී අත්අඩංතුවට ගත්තා කියලා. අපි මේ තොරුතුර දැනට විමසනවා. හෙට දිනයේදී ඒ දෙදෙනා කවුරුන්ද කියා හඳුනාගන්න අපිට හැකියාව ලැබෙයි."
"මිනිස් ජාවාරම්කරුවන් රුපියල් ලක්ෂ 40ය 50 අපේ ශ්‍රී ලාංකිකයින්ගෙන් රැගෙන ඊශ්‍රායලට රැකියා සඳහා යැයි පවසමින් රැගෙන එනවා. මේ දිනවල යුද්ධයක් පවතිනවා. ඊශ්‍රායල සහ ජෝර්දාන් දේශසීමාව හරහා ගමන් කිරීම අනතුරුදායකයි. වෙඩිවැදී මියයන්න පුළුවන්."
"ඊට අමතරව පසුගියදා වෙඩි ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකිකයා ඊශ්‍රායලට පැමිණ ඇත්තේ තැරැව්කරුවන්ට ලක්ෂ 40ක මුදලක් ගෙවලා. ඔහු පැමිණ ඇත්තෙත් වීසා රහිතව.. අනවසරයෙන්. එම නිසා ඔහුට වෙඩිවැදීමකට ලක් වුණත් වෛද්‍ය පහසුකමක් හෝ වන්දි මුදලක් ලැබෙන්නේ නැහැ. අපි මැදිහත්වෙලා තනාපති කාර්යාලය විදිහට ඒ අසීරු අවස්ථාවේ වෛද්‍ය පහසුකම් ලබලා දුන්නේ. ඒ නිසා කරුණාකරලා මේ ක්රීයාවට පෙළඹෙන්න එපා."