ගාසා තීරයේ ගැටුම් මැද ඊජිප්තුව දේශ සීමා වසා දමයි
October 12, 2023 03:03 pm
ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර ලෙස ඇතැමුන් හඳුන්වන මිලියන 2.5ක් පලස්තීනුවන් රැඳී සිටින ගාසා තීරයට ඊශ්‍රායලය අඛණ්ඩ ව ගුවන් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.
එහි දී කාන්තාවන් ළමුන් ඇතුළු සිවිල් වැසියන් පවුල් පිටින් මිය යාමේ සිද්ධීන් එහි සිටිනා සීමිත මාධ්‍යවේදීන් වාර්තා කර ඇත.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට සිදු කරන ආහාර, ජල සහ ඉන්ධන සැපයුම් අත්හිටුවීමෙන් පසු එහි ක්‍රියාත්මක වූ එකම විදුලි බලාගාරය ද ඉන්ධන නොමැතිව වසා දමා ඇතැයි සඳහන්ය.
ගාසා තීරයේ රෝහල් ඖෂධ සහ කාර්ය මණ්ඩල හිඟයකට මුහුණ දෙන අතර, දරුණු ලෙස තුවාල ලබන සංඛ්‍යාව ද පැයෙන් පැය ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි ගාසා තීරයේ සිදු ව ඇති පලස්තීනුවන් ගේ මරණ සංඛ්‍යාව 1200 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 5600කට අධිකයි.
සතිඅන්තයේ එල්ල වූ හමාස් සන්නද්ධ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ ද 1300ක් පමණ මියගොස් ඇති අතර, 3300ක් පමණ තුවාල ලබා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (12) උදෑසන නිකුත් කළ වාර්තාවලට අනුව ගාසා තීරයේ අවතැන් වු පලස්තීනුවන් සංඛ්‍යාව 338,934කි.
අඛණ්ඩ ව එල්ල වන ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් නිවහන් ගොඩනැගිලි ඇතුළු ගාසා තීරයේ සියලු යටිතල පහසුකම් බිඳවැටෙද්ඳී රෝහල් මෘත ශරීරාගාරවල ඉඩ නොමැති වීම නිසා මළ සිරුර බිම අතුරා ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයන්ගේ නෑ හිතවතුන් රෝහල් අසල පෙළ ගැසී සිටින්නේ, දැඩි අව් රශ්මිය පතිත වීමට පෙර ඔවුන් ගේ සිරුරු මිහිදන් කිරීමටයි.
හැකි ආකාරයෙන් ආගමික වතාවත් සිදු කොට දෙනක් ඇතිව හෝ නැති ව එම සිරුර ළඟම ස්ථානයක මිහිදන් කිරීමට ඔවුන් කටයුතු කරන බව සඳහන්ය.
ගාසා තීරයේ පලස්තිනුවන් ඔවුන් ඉතිහාසයේ මෙතෙක් කවරදාකවත් අත්නුදුටු අන්දමින් බලාපොරොත්තු කඩ වී අපේක්ෂා භංගත්වයට පත් ව සිටින බව රොයිටර්ස් වාර්තා කරයි.
මේ අතර, ගාසා තීරයේ ජීවත් වන පලස්තීන සිවිල් වැසියන්ට මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශය වළකාලීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව "හියුමන් රයිට්ස් වොච්" ආයතනයේ හිටපු ප්‍රධානී කෙනත් රොත් පවසයි.
අමෙරිකානු ප්‍රින්ස්ටන් සරසවියේ කථිකාචාර්යවරයෙකු වන ඔහු සඳහන් කළේ, හමාස් සන්නද්ධ කණ්ඩායම ඊශ්‍රායල සිවිල් වැසියන්ට එරෙහි ව සිදු කරන ලද අපරාධවලට පළිගැනීමක් ලෙස පලස්තීන සිවිල්වැසියන්ට පොදුවේ ප්‍රහාර එල්ල කිරීම සාධාරනීකරණය කළ නොහැකි බවයි.
ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ එක් පාර්ශ්වයකින් සිදු කරන යුද අපරාධ ඇනෙක් පාර්ශ්වයේ යුද අපරාධවලින් සාධාරණිකරණය කළ නොහැකි බව ඔහු එහි දී සඳහන් කළේය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් "x" අවකාශයේ සටහනක් තබමින් සඳහන් කළේ, ගාසා තීරයේ පලස්තීන ජනතාවගේ දිවි රැකගැනීමට අවශ්‍ය ඉන්ධන, ආහාර සහ ජලය සැපයීමට වහා පියවර ගත යුතු බවයි.
ඒ සඳහා ජගත් සංවිධානයට බාධාවකින් තොර ප්‍රවේශයක් ලබාදිය යුතු බව ජගත් මහලේකම්වරයා අවධාරණය කර ඇත.
හමාස් ප්‍රහාරයේ දී සති අන්තයේ එල්ල වූ ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගිය පිරිස මුදාගැනීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ.
ඊශ්‍රායලය ප්‍රකාශ කරන පරිදි හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල සෙබළුන්, කාන්තාවන්, ළමයින් ඇතුළු 150කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් තිබේ.
පලස්තීන ගාසා තීරය ඊශ්‍රායල පාර්ශ්වයෙන් වසා දැමීමෙන් පසු එහි අනෙක් පසින් වූ සිනායි කාන්තාරයේ මුවදොර ඊජිප්තුව විසින් වසා දමා ඇත.
ගාසා තීරයේ පලස්තීනුවන්ට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ඊජිප්තුව, අමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වේ.
එහෙත් ගාසා තීරයේ සිට පලස්තීන සිවිල් වැසියන්ට සරණාගතයින් ලෙස නික්ම යාමේ ආරක්ෂිත වේදිකාවක් නිර්මාණය කිරීම ඊජිප්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඊජිප්තුව මීට පෙර පැවති ගැටුම්වලදීද පලස්තීන සරණාගතයින්ට සිය දේශසීමා වසා දමනු ලැබිණි.
ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර සාම සාකච්ඡා සඳහා නිරන්තරයෙන් මැදිහත්වන ඊජිප්තුව පෙන්වා දෙන්නේ, දෙපාර්ශ්වය විසින් සිය දේශසීමාව තුළ ගැටලු විසඳාගත යුතු බවයි.
පලස්තීනුවන්ට තමන් ගේ රටක් සඳහා වූ අයිතිය ලබාදීම ඊට එකම විසඳුම ලෙස ඊජිප්තුව සලකයි.
අමෙරිකානු ආරක්ෂක උපදේශක ජේක් සුලෙයිවන් සඳහන් කළේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ව ආරක්ෂිත වේදිකාවක් තැනීම පිළිබඳ ඊශ්‍රායලය සහ ඊජිප්තුව සමඟ සාකච්ඡා කරන බවයි.
එහෙත් මානුෂීය ආධාර සඳහා ප්‍රවේශයක් සැලසුවත්, සරණාගත ප්‍රවාහයක් පිළිගැනීමට ඊජිප්තුව සුදානම් නොමැති බව දන්වා ඇතැයි රොයිටර් වාර්තා කර ඇත.
1948 වසරේ ඊශ්‍රායල දේශය බිහි කිරිමේදී සිය ගම්බිම්වලින් පලවා හරිනු ලැබූ පලස්තීන සරණාගතයින් සඳහා ඉදි කළ සරණාගත කඳවුරු තවමත් දක්නට ලැබේ.
පලස්තීනුවන් සහ අනෙකුත් අරාබි රටවල් පෙන්වා දෙන්නේ, අවසන් සාම එකඟතාවක දී එම සරණාගතයින්ට නැවත සිය මව් භූමියට පැමිණීමට ඉඩ ලබාදිය යුතු බවයි.
එහෙත් එම අදහස ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.
සරණාගතයන් ලෙස නික්මයාමට ප්‍රවේශයක් සකස් නොකළ ද ගාසා තීරය සහ සිනායි කාන්තාරය අතර පිහිටි රෆා පිවිසුම හරහා පලස්තීනුවන්ට මානුෂීය ආධාර සැපයීම සම්බන්ධයෙන් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසී අමෙරිකා එක්සත් ජනපදය මෙන්ම කටාරය සහ තුර්කිය සමඟ ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.