පොලිස්පතිට යළිත් සේවා දිගුවක් හිමිවන ලකුණු
October 9, 2023 08:09 am
පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා සී.ඩී වික්රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව අදින් (09) අවසන් වීමට නියමිතව තිබේ.
ජූලි මස 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් එම සේවා දිගුව ලබාදී තිබුණි.
කෙසේවෙතත් සී.ඩී වික්රමරත්න මහතාට තවදුරටත් සේවා දිගුවක් ලබාදෙන්නේ ද එසේත් නොමැති නම් නව පොලිස්පතිවරයෙකු පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්ය.
පවතින තත්ත්වය හමුවේ සී.ඩී වික්රමරත්න මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ.
නව පොලිස්පතිවරයෙකු පත් කළහොත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ කිසියම් බෙදීමක් ඇති වීමේ අවදානමක් මතුව ඇති බවට සමීප පාර්ශවයන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බවද සඳහන්ය.
මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස 2020 වසරේ නොවැම්බර් මස පත්වු සි.ඩි වික්රමරත්න මහතා පසුගිය මාර්තු මස 25 වනදා එම ධුරයෙන් විශ්රාම යාමට නියමිතව තිබුණි.
එහෙත් ජනාධිපතිවරයා විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට පියවර ගත්තේය.
පළමු සේවා දිගුව අවසන් වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් යළිත් සී.ඩී වික්රමරත්න මහතා වෙත සේවා දිගුවක් ලබාදෙනු ලැබීය.