තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම්

තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම්

October 7, 2023   07:51 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ගාල්ල, මාතර, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්වල හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ යන ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, මතුගම යන ප්‍රදේශවලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දරටත් මෙම තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයටත් නාය යැමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

දෙවැනි මට්ටටමේ නාය යෑම් අවදානම් නිවේදන, ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කරයි.

මේ අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගිං, කළු, නිල්වලා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, නිල්වලා ගං ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට ඉහළ මට්ටමේ ගං වතුර අවදානමක් පවතින බවයි. 

මේ හේතුවෙන් මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවලට ඉහළ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙවැනි ගංවතුර තත්ත්වයකින් ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් ගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.

මේ අතර, අද (07) දිනයේත් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.