ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවයි

October 2, 2023   02:15 pm

ඖෂධ කළමනාකරණ, විශ්ලේෂණ හා උපාය මාර්ග විද්වත් කමිටුවේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

"හදිසි මිලදීගැනීම් මහ නරක වචනයක් හැටියට තමයි මේ සමාජගතවෙලා තියෙන්නේ. කමිටුවක් පත්කළා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ කමිටුව තීන්දුවක් ගත්තා වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි මිලදී ගැනීම් නතර කරන්න. ගිය සුමානේ ඉඳන් අපි හදිසි මිලදීගැනීම් කියන එක සම්පූර්ණයෙන් නතර කළා. සාමාන්‍ය තත්ත්වයට යන්න පුළුවන් තත්ත්වයකට දැන් අපි ඇවිල්ල තියෙනවා."

මේ අතර පසුගිය දිනවල ඇතැම් රෝගීන්ට සංකූලතා ඇති කළ ඉමුයුනෝ ග්ලොබියුලින් නැමැති ඖෂධය මෙරටට ගෙන්වීමේදී එම සමාගම ඉදිරිපත් කළ ලියාපදිංචි සහතිකය ව්‍යාජ යැයි තොරතුරු තහවුරු වූ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

"ඉමුයුනෝ ග්ලොබියුලින් ඖෂධය ගැන මේ දවස්වල කතා කරනවා. මේ ඖෂධය ගෙන්වූයේ හදිසි මිලදී ගැනීමකදී. ඒ අවස්ථාවේදී තිදෙනෙක් ඉදිරිපත් වුණා. ඒ තුන්දෙනාගෙන් අඩුවෙන් ඉදිරිපත් කළ කෙනාට ලබා දුන්නා. ඊට පස්සේ ඔවුන්ට NMRA සහතිකය ගන්න අවශ්‍යයි.  ඒ අනුව වෑල් 22,500ක් ගෙන්වූවා. ඒ 22,500 න් 3085 අපිට ලැබිලා තියෙනවා. අපිට ලැබුණු තොරතුරුවලට අනුව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අනුව NMRA කියනවාසහතිකයක් ලැබී නැහැ කියලා. බැලු බැල්මට ව්‍යාජ සහතිකයක් වගඋත්තරකරුවන් ලෙස NMRA කරුණු ඉදිරිපත් කළ යුතුයි. NMRA එහෙම ලිපි ගොනුවක්වත් ලැබිලා නැහැ කියලා කරුණුත් එක්ක ව්‍යාජ සටහනක් මේ වෑල් 3085 ක් සඳහා රු.මිලියන 130ක් ගෙවන්න තියෙනවා. මේ වනවිට රු.මිලියන 40 ගෙවලා තියෙනවා. බෙහෙත්වල ප්‍රශ්නයක් තියෙන නිසා භාවිතයෙන් ඉවත් කළා. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගේ උපදේශකයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළා."