ගල්කිස්සේ දී එල්ල කළ පිහි පහරකින් පුද්ගලයකු මරුට
September 29, 2023 09:44 pm
ජංගම දුරකථනය සොරාගත් සොරුන් දෙදෙනා පසුපස හඹා ගිය පෙදරේරුවෙකුට සොරෙකු විසින් පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.
සිද්ධියෙන් ඝාතනයට ලක් ව ඇත්තේ, මොනරාගල, නමුණුකුල පදිංචි ව සිටි කේ.එම්.ධනුෂ්ක රුවන් කුමාර නැමැති දෙදරු පියෙකි.
ගල්කිස්ස, බොරුපණ පැරකුම් මාවතේ ඉදි කරමින් පවතින නිවසක පෙදරේරුවන් දෙදෙනෙකු එම භූමියේ වාඩියක නිදාගෙන සිටිය දී ඊයේ (28) පුද්ගලයන් දෙදෙනකු වාඩියට ඇතුළු වී ජංගම දුරකථනයක් සොරාගෙන තාප්පෙන් පැන පළා යාමේ දී පෙදරේරුවන් දෙදෙනා ඔවුන් දෙදෙනා පසුපස හඹා ගොස් තිබූ බව පොලීසිය පවසයි.
මිටර් 100ක පමණ දුරක් හඹායාමේ ගොස් පෙදරේරුවන් දෙදෙනා සොරුන් දෙදෙනා අල්ලා ගෙන තිබූ අතර, එහි දී එක් සොරකු විසින් සඟවා ගෙන සිටි උල් පිහියකින් පෙදරේරුවකු ගේ පපුවට ඇන ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
අනතුරු ව සොරා ගත් ජංගම දුරකථනය ද එම ස්ථානයේ අත්හැරදැමූ සොරුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව සඳහන්ය.
අනෙක් පෙදරේරුවා විසින් කොන්ත්‍රාත්කරුට මේ බව දුරකථනය හරහා දැනුම් දී ඔහු පැමිණ තුවාල ලබා සිටි පෙදරේරුවා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ නමුත් එහි දී ඔහු මියගොස් තිබිණි.
සොරකමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට ලැබී ඇති අතර, ඔවුන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියකු පවසා ඇත.