මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට පාර්ශ්ව කිහිපයක අප්‍රසාදය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට පාර්ශ්ව කිහිපයක අප්‍රසාදය

September 29, 2023   09:13 pm

සමාජ මාධ්‍යයේ විකාශනය ආරම්භ වන්නේ, 1997 දී 'සික්ස් ඩිග්‍රීස්' නැමැති සමාජ මාධ්‍ය ජාලය ඔස්සේය. 

නමුත් මෙය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වන්නේ, 2004 දී නිර්මාණය වූ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහාය. 

එතැනින් නොනැවතී යූටියුබ්, ටිවිටර්, වට්ස්ඇප්, වයිබර් සමාජ වේදිකාව ජනතාව අතරට ගොස් ඇති බව හඳුනාගත හැක.

අද වන විට ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලා තරුණ තරුණයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් ව තිබේ.

මේ වන විට ලෝක ජනගහනයෙන් සියයට 60ක් පමණ සමාජ මාධ්‍ය භාවිත කිරීම තුළින් ගෝලීය සන්නිවේදන තාක්ෂණයේ සුවිසල් වර්ධනය කොතෙක් ද යන්න මනාව පැහැදිලි වේ.

2023 ජනවාරි වනවිට ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස මිලියන 7.2ක් වන අතර, එය සමස්ත ජනගහනයෙන් සියයට 32.9කි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතකට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යවරයා ගේ නියමයෙන් පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණි.

මෙහි අරමුණු ලෙස දක්වා ඇත්තේ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම, ශ්‍රී ලංකාවේ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම් කිරීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම ඇතුළු ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමයි.

ඒ සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකු ගෙන් සමන්විත කොමිෂන් සභාවක් පිහිටුවීමට පනත් කෙටුම්පත හරහා යෝජිත ව ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු සිදු කරන වරදක දී රජයට හෝ මෙරට පදිංචි තැනැත්තෙකුට හානියක් වේ නම්, ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට පනතේ විධිවිධානවලට අනුව හැකියාව පවතියි. 

නව පනතට අනුව මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රකෝප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කැරලි ගැසීමේ වරදක් සිදු කර ඇත්නම්, ප්‍රකෝප කළ තැනැත්තා අවුරුදු 05ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට ද නැතිනම් ඒ දඬුවම් දෙකටම යටත් කළ හැකිය.

කැරලි ගැසීමේ වරද සිදු කළ හොත්, ප්‍රකෝප කළ තැනැත්තාට අවුරුදු 03ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම හෝ දඩයකට යටත් කිරීම ද නැතිනම් එම දඬුවම් දෙකමද ලබාදිමේ හැකියාව පවතියි.

මාර්ගගත ක්‍රමවේද භාවිත කරමින් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මඟින් නිත්‍යනුකූල ව සිදු වන ආගමික වැඳුම් පිදුම් කිරීමකට හෝ ආගමික පූජාවන්ට බාධා කරන්නේ නම්, එවැනි තැනැත්තෙක් වසර 03ක් නොඉක්මන කාලයක් බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ දෙයාකාරයේම දඬුවමකට යටත් කළ හැකිය.
 
ඉලක්කගත තැනැත්තෙකු ගේ හෝ එම තැනැත්තාට සම්බන්ධ තැනැත්තෙකු ගේ යම් පෞද්ගලික තොරතුරක් මාර්ගගත ගිණුමක් මඟින් පළ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ තැනැත්තාට හිරිහැරයක් සිදු කරවන සිදුවීමකට වරදකරු කරනු ලැබු තැනැත්තෙකුට වසර 05ක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂ 05 නොඉක්මවන දඩයකට යටත් කිරීමට මෙම නව පනත තුළින් ප්‍රතිපාදන සකස් කර ඇත.

මෙම නව පනත් කෙටුම්පත ගැසට් කිරීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ වූ ආකාරයක් දක්නට ලැබිණි.

සමාජ මාධ්‍ය නිරන්තරයෙන් භාවිත කරන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී ද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සාකච්ඡාවට ගැනිණි.