දූෂණ විරෝධී පනත සහ මහජන අභිලාෂයන්

දූෂණ විරෝධී පනත සහ මහජන අභිලාෂයන්

September 28, 2023   10:41 am

මහජන අභිලාෂයන් යනු, ජීවත් වීම සඳහා පැවතිය යුතු අවශ්‍යතා, වුවමනා සහ ආශාවන් ළඟා කර ගැනීම සඳහා මිනිසාට ඇති බලාපොරොත්තු ය. මින් ප්‍රධාන වන්නේ, ජීවත් වීම සඳහා පැවතිය යුතු මූලික අවශ්‍යතා ය. ආහාර, ජලය, වාසස්ථාන ආදී සාධකයන් යනු, මිනිසාට ජීවත් වීම සඳහා අවැසි මූලික ම කාරණා ය. ඉන් ඔබ්බට යන පෘතඃජන සත්ත්වයෝ වුවමනා හා ආශාවන් ද සිය ජීවිතයට ළඟා කර ගැනීම සඳහා උත්සුක වෙති. ඒවා අනවශ්‍ය යැයි කිසිවකුට පැවසිය නො හැක. ශ්‍රී ලාංකේය සමාජ දේහය දෙස බැලීමේ දී පෙනෙන කරුණක් වන්නේ, ජීවත් වීම සඳහා පුරවැසියාට අවශ්‍ය විවිධ දෑ අභියෝගයට ලක් ව ඇති බවයි. ඉකුත් අරගල සමයේ පැන නැඟි ආර්ථික අර්බුදය ඒ සඳහා මොනවට උදාහරණ සපයයි. අරගලයෙන් ඉනික්බිති දශමයකින් හෝ රාජ්‍යයේ සාමාන්‍ය ජන ජීවිතය ප්‍රකෘතිමත් වී නැතැයි සිතිය නොහැක. කෙසේ නමුත් පසුගිය සමයේ මහජනයා තුළ තිබූ අභිලාෂයන් එපරිද්දෙන්ම ඉටුවී ඇතැයි සිතීම නම් අසීරුය. 

'සොරකම් කළ මුදල් වහා අය කර ගනු' මේ වනාහී පසුගිය අරගල සමයේ බරපතළ ලෙස ජන මනසේ රැව් දුන් එක් සටන් පාඨයකි. මින් ගම්‍ය වන එක් අදහසක් නම්, මෙරට පාලනය කළ පාලකයන් නිසැකයෙන් ම රාජ්‍ය ධනය සොරකම් කළ බවට මහජනයා තුළ ඇති විශ්වාසයයි. සාමාන්‍ය ජන මනස පිළිබඳ සිදු කරන සරල කියවීමකින් පවා එම මතය දැරීම අසාධාරණ නො වන බව පසක් කර ගත හැකි ය. එතරමට ම පුරවැසියා තුළ දේශපාලනිකය පිළිබඳ ඇත්තේ අවිශ්වාසයකි. ජන මතය අත්හැර දමා කිසිදු විශ්ලේෂණයක් අපට සිදු කළ නො හැක. එබැවින් දේශපාලන ක්‍රියාවලිය යනු, දූෂිත ආයතනයකි යන සංවාදයට මඳක් හෝ ඉඩක් තබමින් අපි මෙම සාකච්ඡාව පවත්වා ගත යුතු වෙමු. 

දේශපාලනිකය දූෂිත වුණේ කෙසේ ද?

ජේ. ආර්. ජයවර්ධන ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා 1977 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කළ නියෝජන ක්‍රමය හරහා දේශපාලනික දූෂිත වූ බව බොහෝ දෙනා ගේ මතයයි. සමානුපාතික නියෝජන ක්‍රමය, නියෝජිතායතන  තුළට දේශපාලඥයන් තේරී පත්වීම ආදී කරුණු සඳහා මෙම විවේචනය එල්ල වී ඇත. 1977 ව්‍යවස්ථාවට පෙර දේශපාලනිකය තුළ යම් ප්‍රමිතියක් පැවතුණ බවක් හඳුනාගත හැකි ය. එය ඉතා ගැඹුරින් සංවාදයට ගෙන එළැඹිය යුතු නිගමනයක් වුව ද පෙර සඳහන් කළ පරිදි බොහෝදෙනා එවැනි මතයක් දරනු දැක ගත හැකි ය. 1977ට පෙර තිබූ දේශපාලනිකයට වර්තමානයේ තරම් ගැරහුම් හා විවේචන නොපැවති බවක් පෙනෙන්නට තිබෙයි. ඊට හේතු වූයේ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ද නොඑසේ නම්, වෙනත් යමක් ද යන්න බරපතළ ව ගෙන විසඳා ගත යුතු එකකි. කෙසේ වෙතත් දූෂණය යන කාරණය වැඩි වැඩියෙන් සමාජගත වන්නේ, මෑත දශක දෙකක පමණ සිට වන බව හඳුනාගත හැකිය.

දූෂණයට එරෙහි ව පුරවැසියා

නීතියක් නැති තැන ලොව තිරිසන් ම සත්ත්වයා මනුෂ්‍යයා බව ඇරිස්ටෝටල් වරෙක ප්‍රකාශ කර ඇත. නමුත් නීතියක් නොතිබුණ ද මනුෂ්‍යයා වැරැදි නොකරන තත්ත්වයන් ඇති කරන සමාජ කාරක හඳුනාගත හැකිය. ආගම, සංස්කෘතිය, ආචාර ධාර්මිකත්වය, යුක්තිය, හෘදය සාක්ෂිය ආදී සාධක ඊට උදාහරණ ලෙස හඳුනාගත හැකිය. පුරවැසියා සංවිධානය විය යුත්තේ පුරවැසියා උදෙසාය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති අතිසරල ම නිර්වචනය තුළ ද ඇත්තේ, එය මහජනයා විසින් මහජනයා උදෙසා ගෙන යන පාලන ක්‍රමයකි ලෙසය. එය පාලකයා වෙනුවෙන් පාලකයා කරගෙන යන ක්‍රියාදාමයක් නොවිය යුතුය. එසේ වනවා නම්, ඊට විරුද්ධ වීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, පුරවැසියාටය. නමුත් අවාසනාවකට මෙන් මෙරට පුරවැසියා ස්වකීය පරමාධිපත්‍ය බලය තුළ ඇති අසීමිත ශක්තිය නාඳුනන්නකු සේ කටයුතු කරමින් සිටී. නව අණ පනත් පැමිණීම සහ ඒ සඳහා පුරවැසියා සක්‍රීය වීම යන කාරණය අවශ්‍යයෙන් ම හඳුනාගත යුත්තේ එබැවිනි.

දූෂණ විරෝධී පනත සහ ඒ පිළිබඳ පැවතිය යුතු පුරවැසි මැදිහත් වීම පිළිබඳ නීතිඥ, ආචාර්‍ය ප්‍රතිභා මහානාමහේවා මහතා දැක්වූ අදහස්,

"මොන අණ පනත ආවත් මොන නීතිය ආවත් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක ගැටෙන්න බෑ. එහෙම ගැටෙනවා නම්, ඒව ගෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වෙනවා නම්, ඒවට විරුද්ධ ව අධිකරණයට යන්න පුරවැසියා මූලික වෙන්න ඕනේ. අධිකරණ විමර්ශක බලය මේ රටේ හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. කොහොම වෙතත් මේ දූෂණ විරෝධී පනත ලංකාවට අත්‍යවශ්‍ය එකක්. හැබැයි අණ පනත් තිබ්බ පළියට දූෂණය නැති වෙන්නෙ නෑ. අපේ රට තාම එහෙම ක්‍රමයකට හුරු වෙලා නෑ. පහුගිය අරගල කාලෙ මිනිස්සු ඉල්ලුවෙ එහෙම ක්‍රමයක්. වත්මන් ජනාධිපතිතුමාත් ඒ දවස්වල අරගලයේ ප්‍රතිපත්ති ගැන කතා කළා. ඒත් තාම ඒක හොඳට හැදිලා කියලා පේන්නෙ නෑ. රටේ සිද්ධ වෙන අයථා ගනුදෙනු සියල්ල නවතින්න ඕනේ. සිස්ටම් එක ක්ලීන් නොවී පනත් ගෙනාවට වැඩක් නෑ. එක්සත් ජාතීන් ගේ සංවිධානයේ 51 වැනි යෝජනාවේ කියලා තියෙනවා රටකට මෙහෙම පනතක් අවශ්‍ය බව. කොහොම පනතක් ආවත් ඒකෙන් මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම ඒ පනත පුරවැසියා එක්ක ගනුදෙනු කරන්න ඕනේ.

අන පනත් කොච්චර තිබුණත් දූෂණ දේවල් වෙන්න පුළුවන්. මොක ද එකම කට්ටියක් තමා තවමත් මේ සිස්ටම් එක කරගෙන යන්නේ. දූෂණයට විරුද්ධ වීම කියන එක තමන් ගෙ චර්‍යා ධර්මවලින් එන්න ඕන එකක්. යුක්ති සහගත භාවයයි වැදගත්. ඒක පුරවැසියා විසින්මයි හදාගන්න ඕනේ. ස්කැන්ඩිනේඩියානු රටවල ඔය ලක්ෂණය හොඳටම පේන්න තියනවා. මෙතැන දී මට වැදගත් ම දෙයක් කියන්න තියනවා. අපි කඩිනමින් විද්‍යුත් ආණ්ඩුකරණයකට හුරු වෙන්න ඕනේ. රජයේ කාර්‍යාලයකට ගියාම බලන්න මොන තරම් ෆයිල් ගොඩක් පෙන්නන්න ඕනෙ ද කියලා. මීට කලින් ලෝක බැංකු ව්‍යාපෘතියකින් අපේ රටට විද්‍යුත් ආණ්ඩුකරන ක්‍රමවේද ලබාදෙන්න සහාය දෙන්න හැදුවා. ඒත් අපි ඒකට ලෑස්ති වුණේ නෑ. අණ පනත්වලට වඩා ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක් තමා වැදගත් වෙන්නේ. පාසලක් ගත්තත්, පොලීසිය ගත්තත්, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ගත්තත් මේ වැරැදි ක්‍රමය තියනවා. 

මේ පනත පැමිණීමත් එක්ක ඒ සඳහා පුරවැසියා සූදානම් වෙන්න ඕන විදියකුත් තියෙනවා. පුරවැසියන් විදියට ඔවුන් දැනගන්න ඕනේ දූෂණයන් සිද්ධ වෙන තැන්. ක්‍රිකට් ආයතනය ගැනම කොච්චර දේවල් කතා වෙනව ද? එහෙම පුරවැසියා සෘජුවම යම් යම් ආයතන ගැන දැනගෙන ඉන්න ඕනේ. දූෂණයට එරෙහි වෙන්න ඕනේ. තමන් ගෙ ආයතනයේ වුණත් තමන් නියෝජනය කරන සංවිධානයක වුණත් දූෂණයක් වෙනවා නම් පෙරට එන්න ඕනේ. රස්සාව නැති වෙයි කියලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නෙ නෑ. තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරන්න පුරවැසියාට පුළුවන්. ඒ වගේම තොරතුරු නිලධාරීන් ආරක්ෂා කිරීමේ වගකීමකුත් තියනවා. 

හැම තිස්සෙම පුරවැසියා නීතිය, යුක්තිය, දූෂණය ගැන අවදියෙන් ඉන්න ඕනේ. වෙන රටවල, විශ්‍රාම ගිය ඇමතිවරු කොට කලිසම් ගහගෙන පාරෙ යනවා. ජනාධිපති අගමැති වුණත් පෝලිමේ යන්න ඕනේ. අපේ රටේ එක ඇමති කෙනෙක්ට වාහන කීයක් යනව ද? සමහර රාජ්‍ය නිලධාරීන්ට විශ්‍රාම යනකොටත් වාහන පර්මිට් දෙනවා. මේ හැම දෙයක් ගැනම පුරවැසියා අවදියෙන් ඉන්න ඕනේ..."

සම්මත වූ දූෂණ විරෝධී පනත් කෙටුම්පත

දේශපාලනිකයේ දූෂිත ස්වභාවය පිළිබඳ මෙවැනි සංවාදයක් පවතින මොහොතක දී එක්වර ම ආණ්ඩුව විසින් දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය. පනත් කෙටුම්පත ඉදිරිපත් වූ සමයේ ඊට විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වූ නමුත් අවසානයේ කෙටුම්පත සංශෝධන 193ක් සමඟ ඡන්ද විමසීමකින් තොර ව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඉකුත් ජූලි 19 වනදා කෙටුම්පත සම්මත වී නීතියක් බවට පත් වි‍ය.

නව දූෂණ විරෝධී පනතේ සඳහන් සාධනීය යැයි කිව හැකි සාධක කිහිපයක් පහත පරිදි සාරාංශ කළ හැකි ය,

* කොමිෂන් සභාවට බලපෑම් කිරීමට නොහැකි වීම
* මූල්‍ය විමර්ශන කාර්‍යයේ දී කොමිසම ස්වාධීන වීම
* පෞද්ගලික අංශයේ දූෂණ විමර්ශනය සඳහා කොමිසමට බලය පැවතීම
* ලිංගික අල්ලස් ලබා ගැනීමට කටයුතු කිරීම සාපරාධී අපරාධ ක්‍රියාවක් ලෙස පනත තුළ නම් කර තිබීම
* ක්‍රීඩා සංගම් තුළ සිදු වන දූෂණ, අල්ලස් ආදිය විමර්ශන කිරීමේ හැකියාව
* වත්කම් හා බැරකම් පිළිබඳ අධීක්ෂණ කටයුතු කිරීමේ හැකියාව
* වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, පළාත් මහ ඇමැතිවරුන්, පළාත් ඇමතිවරුන්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ද ඇතුළු කර තිබීම

කොමිෂන් සභාව, සංයුතිය හා ක්‍රියාකාරිත්වය

අල්ලස් සහ දූෂණ වැරැදි පිළිබඳ විමර්ශනයට, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආශ්‍රිත වැරැදි සඳහා නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා මෙම පනතෙන් විධිවිධාන සලසා තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ද මේ යටතේ ම පිහිටුවා ඇත. කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වන අතර, එම පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත් වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ. එය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත් ව සිදු වේ. එසේම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට, පෙර පැවති අල්ලස් පනතෙන් තිබුණාට වඩා වැඩි බලයක් හිමි කර දී ඇත. නඩු පැවරීමේ කටයුතු සඳහා අවශ්‍ය නම් නීතිපති සහාය ලබා ගැනීමට ද නව පනත හරහා කොමිසමට බලය ලබා දී ඇත. මෙම පනතේ සඳහන් තවත් සුවිශේෂ කාරණයක් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ආදායම්වල අස්වාභාවික ඉහළ යාමක් දක්නට ලැබේ නම්, ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට හිමි වීම ය. කෙසේ වෙතත් මෙම නව දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීම හරහා මෙතෙක් ක්‍රියාත්මක වූ අල්ලස් පනත, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත, වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනත යන පනත් තුන ම අහෝසි වන බව සඳහන් ය.

මේ පිළිබඳ කෙටි පැහැදිලි කිරීම් කිහිපයක් සිදු කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රජා අංශයේ නීති නිලධාරී නීතිඥ පියුමි මධුෂානි,

01) දූෂණ විරෝධී පනත ගෙන ඒම සඳහා ආණ්ඩුවට තිබූ අභිලාෂයන් කුමක් විය හැකි ද?

අපට ඔවුන්ගේ අභිලාෂයන් උපකල්පනය කළ හැක්කේ ඔවුන්ගේ ක්‍රියාකලාපය මත පදනම්වයි. නව දූෂණ විරෝධී නීතියක් ගෙන ඒමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජිත කොන්දේසිය ඉටු කිරීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පවතින ගිවිසුමට රජයේ කැපවීම තහවුරු කිරීම මෙහි දී ප්‍රධාන අරමුණු වූ බව පෙනේ.
දූෂණ විරෝධී නීති රාමුව යාවත්කාලීන කොට ශක්තිමත් කළ යුතු බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය වසර ගණනාවක් මුළුල්ලේ යෝජනා කළ නමුත් ඊට සැලකියයුතු ප්‍රතිචාර නොලැබුණි. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ගිවිසුම්ගත වීමත් සමඟ මෙම ක්‍රියාවලිය ඉතා කෙටි කාලයක් තුළ, මහජන අදහස් උදෙසා ඉතා සීමිත අවස්ථාවක් ලබා දෙමින් සිදු විය. 

නව දූෂණ විරෝධී නීතියේ ඵලදායිතාව මුළුමනින්ම රඳා පවතින්නේ එය ක්‍රියාත්මක වන ආකාරය අනුවයි. එබැවින්, ශ්‍රී ලංකාව තුළ පවතින දූෂණ ගැටලුව විසඳීමට කඩදාසියක් මත වූ නීතියකට පමණක් නොහැකි බව TISL ආයතනයේ මතයයි. සමස්ත දූෂණ විරෝධී යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වීම මෙහි දී අත්‍යවශ්‍යයි.

02) පෙර තිබූ පනත් 03ක් අහෝසි කරමින් සම්මත වූ නව පනතේ සාධනීය තත්ත්වයන් මොනවා ද?

අල්ලස් පනත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත, සහ වත්කම් හා බැරකම් ප්‍රකාශ නීතිය යන නීතීන් තුන අවලංගු කර ප්‍රතිස්ථාපනය කිරීමක් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත තුළින් සිදු වේ. නව දූෂණ විරෝධී පනත තුළ සාධනීය තත්ත්වයන් කිහිපයක් දක්නට ලැබේ.

1. අල්ලසට සහ දූෂණයට අදාළ නව වැරදි ආවරණය කෙරේ. ලිංගික අල්ලස්, පුද්ගලික අංශයේ අල්ලස්, ක්‍රීඩා සම්බන්ධ වැරදි, බැඳියාවන් පිළිබද ඝට්ටනයන් ප්‍රකාශ කිරීමට අසමත් වීම ඉන් කිහිපයකි. 

2. බොහෝමයක් වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් මිලියනය දක්වාත්, සිර දඩුවම් කාලය වසර 7-10 දක්වාත් ඉහළ නංවා තිබේ.

3. අල්ලසට සහ දූෂණයට එරෙහිව කටයුතු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සතු බලතල සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා තිබේ. 

4. වත්කම් හා බැරකම් ප්‍රකාශනවල සංස්කරණය කළ පිටපතක් මහජනතාව වෙත විවෘත වේ.

5. වත්කම් හා බැරකම් ප්‍රකාශන සදහා විද්‍යුත් පද්ධතියක් ස්ථාපිත කළ යුතු අතර එය භාරව කටයුතු කරන මධ්‍යම අධිකාරිය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නම් කර තිබේ.

6. අල්ලස් හෝ දූෂණ වරදක් තුළින් ලබා ගත් දේපළ වරදකරු නොකිරීම මත පදනම්ව රජය සතු කළ හැකි වේ.  

කෙසේ නමුත් සාධනීය නොවන තත්ත්වයන් කිහිපයක්  ද මෙම පනතේ දක්නට ලැබේ. 

1. මැතිවරණ අපේක්ෂකයෙකු විසින් තම නාම යෝජනා සමඟ  වත්කම් බැරකම් ප්‍රකාශය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ද ලබා දිය යුතු නමුත් එසේ නොකරන අවස්ථාවක දී ගත යුතු ක්‍රියාමාර්ග හෝ පැනවිය හැකි දඬුවම් පනතෙහි සඳහන් නොවේ. 

2. එමෙන්ම ව්‍යාජ චෝදනා පිළිබඳ සඳහන් වන 119 වගන්තිය තුළින් දූෂණයට එරෙහිව ක්‍රියා කරන්නන් සහ දූෂණ පිළිබඳ තොරතුරු හෙළි කරන්නන් අධෛර්යමත් කිරීමක් සිදු වේ.

3. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සහ ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම වරදක් බවට පත් කර තිබේ. 

03) දූෂණය හා එය වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාව තුළ පෙර පැවති තත්ත්වයන් හා නව පනත අතර ඇති වෙනස්කම් මොනවා ද?

TISL ආයතනය ඇතුළු දූෂණ විරෝධී ක්‍රියාකාරීන් වසර කිහිපයක සිට ඉල්ලා සිටි වත්කම් සහ බැරකම් ප්‍රකාශ  නීතියේ වෙනස්කම් කිහිපයක් මෙම නව දූෂණ විරෝධී පනතට ඇතුළත් වී තිබේ. පෙර පැවති නීතියට අනුව විවිධ නිලධාරීන් විවිධ ආයතන වෙත තම වත්කම් හා බැරකම් ප්‍රකාශ රහසිගතව ලබා දුන් අතර ඒවායේ අන්තර්ගතය සත්‍යායනය කිරීම සඳහා නිසි ක්‍රියා පිළිවෙතක් පැවතියේ නැත. එම වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාට විවෘත වුයේ ද නැත. 

නමුත් නව දූෂණ විරෝධී පනත යටතේ සියලු නිලධාරීන් එක් මධ්‍යම අධිකාරියක්, එනම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු වන අතර එහි සංස්කරණය කරන ලද පිටපතක් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා ජනතාව වෙත විවෘත කෙරේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම වත්කම් හා  බැරකම් ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දේ. 

එයට අමතර ව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරී කාණ්ඩ ගණන ද, ඉදිරිපත් කළ යුතු වාර ගණන ද වැඩි වී තිබේ. පෙර පැවති නීතිය යටතේ ජනාධිපතිවරයා තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නොවූ නමුත් නව නීතිය ජනාධිපතිවරයාට ද බලපැවැත්වේ. 

දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් අයුතු ලෙස ධනවත් වීම වැළැක්වීමට මෙම විධිවිධාන වැදගත් වෙනවා. 
අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් වන වැරදි සලකා බැලීමේ දී පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය අතර සිදුවන අල්ලස් ගැනීම් සහ ලබා දීම් පෙර පැවති අල්ලස් නීතිය යටතේ ආවරණය වූ නමුත් පෞද්ගලික අංශයේ පාර්ශ්වයන් දෙකක් අතර සිදුවන අල්ලස් ආවරණ වූයේ නැත. නව දූෂණ විරෝධී නීතිය මෙය නව වරදක් ලෙස හඳුන්වා දෙන අතර මෙයට අමතර ව විදේශ රාජ්‍ය සේවකයන්ට අල්ලස් ලබාදීම ද ආවරණය කෙරේ. ලිංගික අල්ලස් සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ මින් පෙර චෝදනා ගොනු වූ නමුත් ලිංගික අල්ලස් වෙනම වරදක් ලෙස පෙර නීතියේ සඳහන් වුයේ නැත. නව දූෂණ විරෝධී නීතිය යටතේ මෙය විශේෂයෙන් වරදක් ලෙස හඳුනා ගැනීම තුළින් ලිංගික අල්ලසට මුහුණ දෙන වින්දිතයින්ට ඊට එරෙහිව කටයුතු කිරීමට වඩාත් රුකුලක් වනු ඇත. 
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ කොමිසම වෙත ලැබුණු මූලික පරීක්ෂණ පැවැත්වීමේ, විමර්ශන සිදු කිරීමේ හා නඩු පැවරීමේ කාර්යයන්ගෙන් ඔබ්බට ගිය බලතල සහ කාර්යයන් ගණනාවක් නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම වෙත පැවරෙනවා. විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට, වෙනත් ආයතන සමඟ හවුල් විමර්ශන කණ්ඩායම් පිහිටුවීමට, ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගැනීමට ඇති බලය ඒ අතරින් සුවිශේෂයි. ශ්‍රී ලංකාව තුළ මුල්බැසගෙන ඇති අල්ලස සහ දූෂණයට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය වන බලතල රාශියක් නව දූෂණ විරෝධී නීතිය යටතේ කොමිසමට ලබා දී තිබෙනවා. එම විධිවිධානවල ඵලදයිතාව තීරණය වනුයේ කොමිසමේ භාවිතය මතයි. එම නිසා දූෂණයට එරෙහිව සක්‍රියව සහ ප්‍රගාමී ව කටයුතු කිරීමත්, සුළු පරිමාණ දූෂණ පමණක් නොව මහා පරිමාණ දූෂණවලට එරෙහිව ද මෙම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම කොමිසම වෙත පැවරේ. 

04) නව දූෂණ විරෝධී පනත සමඟ පුරවැසියා සක්‍රීය විය යුත්තේ කුමන ආකාරයට ද?

නව දූෂණ විරෝධී පනත ඵලදායීව ක්‍රියාත්මක කිරීමට පුරවැසියන්ට ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැක. ශ්‍රී ලංකාව තුළ සිදුවන සුළු හා මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් මෙන්ම ඒවාට බලපැවැත්වෙන දූෂණ විරෝධී නීතිය සම්බන්ධයෙන් ද පුරවැසියා දැනුම්වත් විය යුතු අතර දූෂණයට එරෙහිව සක්‍රියව කටයුතු කළ යුතු ය. එනම්, දූෂණ වංචා ඉවසීමේ සහ නොසලකාහැරීමේ සංස්කෘතියෙන් බැහැර වී, අදාළ බලධාරීන්ට වාර්තා කිරීමට සහ පුරවැසියා දැනුම්වත් දූෂණ සම්බන්ධ තොරතුරු හෙළි කිරීමට යොමු වීම අවශ්‍යය වේ. 

මෙම නව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවධානයෙන් සිටීමත්, එහි ප්‍රගතිය පිළිබඳ සුපරික්ෂාකාරී වීමත් වැදගත් වේ. විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීමේ සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන්ට සක්‍රිය ව දායක වීම පුරවැසියාට සිදු කළ හැකි ය. දූෂණයට එරෙහිව සටන් කිරීම සාමුහික ප්‍රයත්නයක් වන අතර එයට පුරවැසියාගේ සහයෝගීතාවය සහ කැපවීම අත්‍යවශ්‍ය වේ.