පොලිස් ගිනිඅවියෙන් ජාවාරම්කරු වෙඩිතබයි

පොලිස් ගිනිඅවියෙන් ජාවාරම්කරු වෙඩිතබයි

September 27, 2023   11:42 am

ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති සාදයක් අතරතුර අහසට වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තාවී තිබුණි.

මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පෙරේදා (25) රාත්‍රියේ පැවති මත්පැන් සාදයකට සහභාගිවූ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුට අයත් රාජකාරි ගිනිඅවියෙන් එලෙස අහසට වෙඩිතබා තිබේ.

අදාළ වෙඩිතැබීම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ නීතිවිරෝධී ජාවාරම්වල නිරත පුද්ගලයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව ගොකරැල්ල පොලීසිය පවසයි.

මැල්සිරිපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටි එම හෝටලයේදී පෙරේදා රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අනුයුක්තව සේවය කරන අදාළ ආරක්ෂක නිලධාරියා (සැරයන්වරයා) නීතිවිරෝධී ජාවාරම්කරුවා ඇතුළු පිරිසක් සමග එක්වී එදින රාත්‍රියේ එම හෝටලයේදී මත්පැන් සාදයක් පවත්වා ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සැරයන්වරයා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මත්වී ඔහු රැගෙන ගොස් තිබූ රාජකාරී පිස්තෝලය නීතිවිරෝධී ජාවාරම්කරුට ලබාදී ඇති බවත් ඔහු එය හෝටලයෙන් එළියට රැගෙන ගොස් අහසට වෙඩි ප්‍රහාර 02ක් එල්ලකර ඇති බවත් ය.

වෙඩිතැබීමෙන් අනතුරුව එක් හිස් උණ්ඩ කොපුවක් පමණක් සැරයන්වරයා සොයාගෙන තිබූ බවද ඉතිරි උණ්ඩ කොපුව සොයා ගැනීමට නොහැකිවී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

ජාවාරම්කරු එම පිස්තෝලයේ උණ්ඩ රඳවනය ගලවා හෝටලයේ මුදල් අයකැමිවරයාගේ මේසය මත තබන ආකාරය එහි සවිකර තිබෙන CCTV කැමරාවල පටිගතවී තිබේ.

ඔහු එහිදී උණ්ඩ කොපුවේ රඳවා තිබෙන ජීව උණ්ඩ එකින් එක ගලවා නැවත පුරවන ආකාරයද දර්ශනවල තිබෙන බවද පොලීසිය කියයි.

සැකකාර ජාවාරම්කරුවා ⁣මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව  පොලීසිය පවසයි. 

මැල්සිරිපුර නගරයේ ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස කටයුතු කරන සැකකරුට එරෙහිව ගංජා අලෙවි කිරීම සම්බන්ධයෙන් ගොකරැල්ල සහ මැල්සිරිපුර පොලිස් ස්ථානවල පැමිණිලි කිහිපයක්ම ඇති බවද මීට අමතරව පුද්ගලයන්ට පහරදීම් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව තවත් පැමිණිලි ලැබී තිබෙන බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ගොකරැල්ල පොලීසිය සහ ඇමති ආරක්ෂක අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.