පිළිකා ප්‍රතිකාර කිරීමේ තවත් යන්ත්‍රයක් බිඳවැටේ
September 26, 2023 03:35 pm
මඩකලපුව ශික්ෂණ රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය ද බිඳවැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍ර මහතා සඳහන් කරන්නේ පසුගිය අගෝස්තු 22 වනදා සිට අදාළ යන්ත්‍රය බිඳවැටී ඇති බවය.
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර කිරීමේදී නවීනතම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර (Linear Accelerator) භාවිතාවෙන් සිදුකරන විකිරණ ප්‍රතිකාරය පෙන්වා දිය හැකිය.
මෙම ප්‍රතිකාරය මගින් පිළිකා රෝගියෙකුගේ පිළිකා සෛල යාබද නිරෝගී සෛලවලට හානියක් නොවී සාර්ථකව විනාශ කිරීමට හැකියාව ලැබේ.
එමෙන්ම පිළිකා රෝගියෙකුගේ වේදනා සමනය කිරීමේ ප්‍රතිකාර ද මෙමගින් සිදු කෙරේ.
මේ වනවිට රජයේ රෝහල් පද්ධතිය සතුව ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් පවතී.
මහරගම අපේක්ෂා රෝහලේ එම යන්ත්‍ර 05ක්, මහනුවර රෝහලේ යන්ත්‍ර 02ක්, යාපනය ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01ක් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ 01ක් යන්ත්‍රයක් වශයෙනි.
පසුගිය වසරේ නොවැම්බර් මස සිට මහනුවර ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 02ක ද
ක්‍රියාවිරහිත වී ඇත.
එයට හේතුවී ඇත්තේ එම යන්ත්‍ර පිහිටි ගොඩනැගිල්ලේ සිසිලන පද්ධතියේ තිබෙන දෝෂයන් ය.
මඩකලපුව ශික්ෂණ රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය ද බිඳවැටීමට හේතු වශයෙන් අදාළ සේවා සපයන සමාගම පවසා ඇත්තේ යන්ත්‍රය පිහිටි ඒකකයේ වායුසමන පද්ධතියේ තිබෙන දෝෂය හේතුවෙන් මෙය සිදුවී ඇති බවටය.
ඒ අනුව උෂ්ණත්වය සහ ආර්දතාවය නිසිපරිදි පාලනය නොවීම යන්ත්‍රය බිඳ වැටීමට හේතු වශයෙන් තවදුරටත් පෙන්වාදී තිබේ.
අධික වටිනාකමකින් යුතු මෙවැනි යන්ත්‍ර මේ ආකාරයෙන් බිඳවැටීම කනගාටුවට කරුණකි.
මඩකලපුව රෝහලේ ඇති මෙම යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 40ත් 50ත් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කරමින් සිටි අතර මෙම රෝහල මගින් හම්බන්තොට,මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය,අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර රෝහලෙන් යොමු කරන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සිදුකළේය.
පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාර කටයුතු කිරීමේදී එය දින කිහිපයක් එක දිගට සිදුකරන අතර එය දින 05 සිට දින 30ක් දක්වාවූ අඛණ්ඩ ප්‍රතිකාරයක් ලෙස අදාළ රෝගියාගේ රෝග තත්ත්වය අනුව සිදුකරනු ලැබේ. මෙම ප්‍රතිකාර අඛණ්ඩව සිදුකිරීම අත්‍යවශ්‍ය වෙයි.
මෙම යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව සිදුකරගත නොහැකිව රෝගීන් සහ කාර්යමණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත්වී ඇත.
මේ වනවිට දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි රෝගීන් මඩකලපුව රෝහල ආසන්නයේ නවාතැන් ස්ථානවලට වී තමන්ගේ ප්‍රතිකාර කටයුතු කරගැනීමට නොහැකිව අසරණවී සිටී.
මෙම ප්‍රතිකාරය පෞද්ගලික අංශයෙන් සිදු කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 05 සිට 17 දක්වාවූ මුදලක් වෙන බවද වාර්තා වෙයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කර ඇතත් මේ වනතෙක් එම යන්ත්‍රය යථාතත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුවී නොමැති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.