අද තීරණාත්මක සාකච්ඡාවක්

අද තීරණාත්මක සාකච්ඡාවක්

September 26, 2023   06:54 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත් වේ.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වනදා ආරම්භ වුණි.

මෙම සමාලෝචන සාකච්ඡා මාලාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ විස්තීර්ණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

සති 2කට ආසන්න කාලයක් පැවති සාකච්ඡා මාලාවේ අවසන් හමුව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය ලබන 28 සහ 29 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.