කැසීමේ රෝගී තත්ත්වයකින් පාසලක් වැසෙයි

කැසීමේ රෝගී තත්ත්වයකින් පාසලක් වැසෙයි

September 20, 2023   03:58 pm

පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ දරුවන් පිරිසක් හදිසියේ රෝගී තත්ත්වයකට පත්වීමේ සිද්ධියක් නිසා එම පාසල අද (20) දිනයේ තාවකාලිකව වසා දමා තිබේ.

පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් 250 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන කුරුණෑගල, ගනේවත්ත හිරිපිටිය විද්‍යාලයේ දරුවන් 15 දෙනෙකු පමණ එලෙස හදිසියේ රෝගීවී ඇත.

පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී ළමුන් කිහිපදෙනෙකුට ශරීරය කැසීමේ රෝගී තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඔවුන්ව ගනේවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇත. 

මේ වන විටත් ළමුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

ඒ, අනුව ගනේවත්ත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ පාසලේ සියලුම පන්ති කාමර විෂබීජනාශක යොදා පිරිසිදු කිරීමට පියවර ගෙන තිබේ.

මෙවැනි රෝගී තත්ත්වයන් හඳුනාගත හොත් පාසලක් සාමාන්‍යයෙන් දින 03ක් පමණ වසා දැමීමට සිදුවන අතර රෝගී තත්ත්වය පාලනයවී ඇති හෙයින් හෙට දින නැවත පාසල විවෘත කිරීමට අදහස් කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය.

කෙසේවෙතත් මෙවැනි රෝගී තත්ත්වයක් පැතිර යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අද දින ද එක් පාසල් සිසුවෙකු රෝහල්ගත කළ බව වාර්තාවී ඇතැයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේය.