චීන ප්‍රධානියෙක් හදිසියේම රුසියාව ට

චීන ප්‍රධානියෙක් හදිසියේම රුසියාව ට

September 18, 2023   04:21 pm

චීනයේ අංක එකේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන විදේශ අමාත්‍ය වෑන් යී අද (18) සිව්දින මොස්කව් චාරිකාවක් ආරම්භ කරයි.

දෙරට අතර ගැඹුරු දේශපාලනමය විශ්වාසය තහවුරු කිරීමත්, ඔක්තෝබර් මාසයේ සිදුවනු ඇතැයි අපේක්ෂිත ජනපති පුටින්ගේ බීජිං චාරිකාවට පදනම සැකසීමත් මෙම සංචාරයේ අරමුණ බව සඳහන් ය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔක්තෝබර් මාසයේ බීජිං නුවරට පැමිණෙන්නේ චීන බෙල්ට් ඇන්ඩ් රෝඩ් - නැත්නම් තීරයක් සහ මාවතක් තුන්වැනි සමුළුවට සහභාගිවීමටය.

පසුගිය මාර්තු මාසයේ මොස්කව් නුවර සංචාරයක නිරතවූ චීන ජනාධිපති ෂී ජින්පින්, බීජිං සමුළුවට පැමිණෙන ලෙස ජනපති පුටින්ට ආරාධනා කළේය.

එම සංචාරය සිදුවුවහොත් එය විශේෂ වැදගත්කමකින් යුක්ත වන්නේ යුක්‍රේන යුද්ධය හේතුවෙනි.

යුද්ධය නිසා බටහිර රටවල් සම්බාධක රැසක් පනවා තිබුණද චීනය සැමවිටම රුසියාව සමග ආර්ථික හා දේශපාලනමය සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යයි.

එහෙත් යුක්‍රේන යුද්ධය සඳහා චීනය, රුසියාවට අවි සපයන්නේද පිළිබඳව අමෙරිකාව ඇතුළු බටහිර රටවල් පසුවන්නේ දැඩි අවධානයෙනි.

බටහිර රටවල් සමග පවතින ආර්ථික සබඳතා හේතුවෙන් චීනයට එලෙස රුසියාව යුද අවි ආදිය සැපයීම ගැටලුකාරී කරුණකි.

කෙසේනමුත් ජනපති පුටින්ගේ බීජිං සංචාරය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

එහෙත් රුසියානු ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් 01 වැනිදා ප්‍රකාශ කළේ තමා ළඟදීම චීන ජනාධිපති ෂී ජින්පින් හමුවන බවයි.

එමෙන්ම 2017 සහ 2019 වසරවල පැවති බෙල්ට් ඇන්ඩ් රෝඩ් පළමු සහ දෙවැනි සමුළු සඳහා ජනපති පුටින් සහභාගි විය.

ජනපති පුටින්ගේ සංචාරයට පදනම සැකසීම සඳහා අද මොස්කව් නුවරට යන චීන විදේශ අමාත්‍ය  වෑන් යී චීන කොමියුනිස්ට් පක්ෂ විදේශ කටයුතු කාර්යාලයේ ප්‍රධානියාද වෙයි.

ඔහු මොස්කව් නුවරදී රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලොයි පැට්රුෂෙෆ් සමග වාර්ෂික චීන - රුසියානු ආරක්ෂක සාකච්ඡාවටද සහභාගිවන බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.

චීන විදේශ අමාත්‍ය වෑන් යී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් සමග, ඉහළම මට්ටමේ සම්බන්ධතා ඇතුළු පුළුල් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

චීන විදේශ අමාත්‍ය වෑන් යී අවසන් වරට රුසියාවේ සංචාරයක නිරත වූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ යුක්‍රේන යුද්ධයේ පළමු වසර සම්පූර්ණ වීමට ආසන්න වෙද්දීය.

එහිදී එම සංචාරය අමෙරිකාවේ දැඩි උදහසට ලක්වූයේ චීනය සහ රුසියාව බලය යොදා දේශ සීමා යළි සැකසීමේ එකම දැක්මකින් කටයුතු කරන බව පවසමිනි.

චීන විදේශ අමාත්‍ය වෑන් යී මොස්කව් සංචාරයට පෙර මෝල්ටාවේ සංචාරයක නිරතවුණේ මීට හාත්පසින්ම වෙනස් අරමුණකිනි.

එහිදී ඔහු අමෙරිකානු ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලෙයිමාන් හමුවී දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

ඒ මේ වසර අගදී සිදුවිය හැකි චීන ජනාධිපති ෂි ජින්පින් සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවකට පදනම සැකසීමේ අරමුණෙන් බව පැවසෙයි .

මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි යුක්‍රේන යුද්ධය ආරම්භවීමෙන් පසු සිය දෙවැනි අමෙරිකානු සංචාරය ලෙස නිව්යෝක් නුවරට පැමිණීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගි වන ඔහු ලබන බ්‍රහස්පතින්දා වොෂින්ටනයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මුණගැසෙයි.

යුක්‍රේන යුද්ධය සඳහා ඩොලර් බිලියන 100ක පමණ ආධාර ලබාදී ඇති අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙහිදී යුක්‍රේනය වෙනුවෙන් නව ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විශේෂයෙන් රුසියාවට එරෙහි යුක්‍රේන ප්‍රති ප්‍රහාර මෙහෙයුම තීරණාත්මක අදියරකට පැමිණ ඇති අවස්ථාවක මෙම හමුව විශේෂ වැදගත්කමකින් යුක්ත වන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුද්ධය ආරම්භවීමෙන් පසු සිය ප්‍රථම අමෙරිකානු සංචාරය ලෙස පසුගිය දෙසැම්බරයේ වොෂින්ටනයට පැමිණි අතර හමුදා නිල ඇඳුමකින් ඔහු ධවල මන්දිරයට පිවිසීම විශේෂ අවධානය දිනාගත් කරුණක් විය.