උසස් අධ්‍යාපනය සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව

උසස් අධ්‍යාපනය සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව

September 16, 2023   09:15 am

උසස් අධ්‍යාපනය පිළිබඳ කෙටි හැඳින්වීමක්

උසස් අධ්‍යාපනය නොඑසේ නම් විශ්වවිද්‍යාලය යන සංකල්පය මෙරටට හිමිවන්නේ, අධිරාජ්‍යවාදය හරහාය. ඊට ප්‍රථම මෙරට පැවතියේ, පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයයි. එනම් පන්සල මූලික කරගත් පෙරදිග දැනුම ලබා දෙන ආයතන ලෙස පිරිවෙන් අධ්‍යාපනය ක්‍රියාත්මක විය. නමුත් ඉංග්‍රීසින් විසින් බටහිර ආකෘතියේ උසස් අධ්‍යාපන ආයතනය හෙවත් විශ්වවිද්‍යාලය මෙරටට හඳුන්වා දෙන ලදි. විශ්වවිද්‍යාලය පමණක් නොව වත්මන් පාසල් ක්‍රමය ද මෙරටට හඳුන්වා දුන්නෝ ඉංග්‍රීසිහුය. පළමුව ක්‍රිස්තියානි මිෂනාරි පාසල් ලෙස ආරම්භ වූ පාසල් ක්‍රමය මේ දක්වා විවිධ ආකාරයේ ප්‍රතිසංස්කරණ සමඟ විකාශනය වී තිබේ.

මෙරට පළමු විශ්වවිද්‍යාලය ස්ථාපනය වන්නේ, 1921 දී ලංකා යුනිවසිටි කොලීජිය ලෙසය. වත්මන් කොළඹ විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වෙන්නේ, එම යුනිවසිටි කොලීජියයි. ඉන්පසු ලංකා විශ්වවිද්‍යාලය හෙවත් ‍යුනිවසිටි ඔෆ් සිලෝන් ස්ථාපනය කෙරෙන අතර, එය විවෘත වන්නේ, 1942 වර්ෂයේය. වත්මන් පේරාදෙණි විශ්වවිද්‍යාල යනු, එම ලංකා විශ්වවිද්‍යාලයයි. කෙසේ වෙතත් මෙරට විශ්වවිද්‍යාල ආරම්භ වූ මුල් කාල පරිච්ඡේදයේ දී ඒවායෙහි අධ්‍යාපනය ලැබීමට වරම් හිමිවූයේ සීමිත ශිෂ්‍ය පිරිසකට පමණි. ධනවත් හා ප්‍රභූ පවුල්වල දරුවන්ට පමණක් සීමා වූ උසස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන පනතින් පසු සියලු ලාංකිකයන් වෙත විවෘත විය. එවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායකය හෙවත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ සී.ඩබ්.ඩබ්.කන්නංගර මහතා, මුල් කාලයේ සිට ම නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීම සඳහා මහත් උනන්දුවෙන් යුතු ව කටයුතු කළේය. 1946 දී නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමඟ අධ්‍යාපනයට ඇති සම අයිතිය පිළිබඳ සංවාදය මෙරට තුළ වඩාත් ප්‍රචලිත විය. කන්නංගර මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ සංගෘහිත වූ සුවීශේෂ කාරණා කිහිපයක්ම හඳුනාගත හැකිය.

සෑම පාසලකම මව් භාෂාව ඉගැන්වීම සඳහා අවැසි නීති කෙටුම්පත් සැකසීම
පුහුණු වන ගුරුවරුන් සඳහා මව්බස පිළිබඳ දැනුම ලබා දීම
පාසල් දරුවන් සඳහා නොමිලයේ දිවා ආහාර වේලක් ලබාදීම
පාඨශාලා පරීක්ෂකවරුන් සඳහා ද මව්බස ඉගැන්වීම
නිදහස් අධ්‍යාපනය නීතියේ කොටසක් බවට පත් කිරීම
එම සුවිශේෂ ප්‍රතිසංස්කරණ අතුරෙන් කිහිපයකි.

නිදහස් උසස් අධ්‍යාපනය හා ලාංකේය ජන මනස

නිදහස් අධ්‍යාපනය පිළිබඳ සංකල්පය නිවැරැදි ව පැහැදිලි කරගත යුතු එකකි. නිදහස් අධ්‍යාපනය යනු, නොමිලේ ලබන අධ්‍යාපනයක් යැයි හඳුනාගැනීම එතරම් නුවණට හුරු නැත. ඕනෑම රාජ්‍යයක් සිය පාලන තන්ත්‍රය පවත්වා ගැනීම සඳහා පුරවැසියාගෙන් බදු මුදල් අය කරයි. රාජ්‍යයේ බදු ආදායම යනු, එම රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූලික ආදායම් මාර්ගයකි. පරිප්පු ඇටයේ සිට පුරවැසියෝ රාජ්‍යය වෙනුවෙන් බදු ගෙවති. නමුත් එම බදු මුදල් පෙරළා රාජ්‍යය විසින් පුරවැසියාට ලබා දේ. ඒ, මුදල් ලෙස නොව සුබසාධන සේවා ලෙසය. අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සේවාවන් එසේ රාජ්‍යය විසින් පුරවැසියාට ලබාදීම සිදු කරයි.

මේ අනුව තමා ගෙවන බදු මුදල්වලට සාපේක්ෂ ව නිදහස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අසාධාරණ නොවන බව කෙනෙකු තර්ක කළහොත් එය ආසාධාරණ නොවන බව කිව හැකිය. නිදහස් අධ්‍යාපනය යනු, රාජ්‍යය පෝෂණය කිරීම නිසා රාජ්‍යය විසින් පුරවැසියාට ලබා දෙන අයිතිවාසිකමක් මිස නොමිලයේ ලැබෙන්නක් නොවන බව මෙසේ හඳුනාගත හැකිය. එනම් සෑම පුරවැසියකුම නිදහස් අධ්‍යාපනය ලැබීම සඳහා තමාට හිමි අයිතිවාසිකම පිළිබඳ උනන්දු වීම අත්‍යවශ්‍යය.

නිදහස් අධ්‍යාපනය හා ඒ කෙරෙහි වූ අභියෝග පිළිබඳ ඓතිහාසික සමාලෝචනයක්

අධ්‍යාපනය පිළිබඳ ධවල පත්‍රිකාව

සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තියෙහි වෙනසක් ඇති කිරීමේ අරමුණ සහිත ව මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සහිත ධවල පත්‍රිකාව ඉදිරිපත් වූයේ, 1982 ජනවාරි මස 21 වනදාය. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ යෞවන කටයුතු, රැකී රක්ෂා සහ අධ්‍යාපන ඇමති වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අධ්‍යාපනය පිළිබඳ ධවල පත්‍රිකාව ඉදිරිපත් කිරීම සඳහා මුල් වී කටයුතු කළ බව සඳහන් ය. පවතින අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු වීමට හේතු වන බව පවසමින් මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා දැඩි විරෝධයක් එල්ල විය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීම
පොකුරු පාසල් ක්‍රමය ආරම්භ කිරීම
පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීම
එසේම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීම
පෞද්ගලික පාසල් ආරම්භ කිරීම
ඒකීය පාසල් පවත්වාගෙන යාම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර, එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතු වීම
පෞද්ගලික පාසල් ආරම්භ කර, ඒවායේ ගුරු වැටුප් රජය මඟින් ගෙවීම
ආදී ප්‍රතිසංස්කරණවලට විවිධ පාර්ශ්ව තුළින් දැඩි විරෝධයක් එල්ල විය. සාමාන්‍ය පාසල්වල ඉංග්‍රීසි දැනුම අඩු සිසුන් සඳහා අධ්‍යාපන වරම් අහිමි වීම, මුදල මත අධ්‍යාපනය තීරණය වීම ආදී කරුණු ඇතැයි පවසමින් ධවල පත්‍රිකාවට බොහෝ පිරිස විරුද්ධ වූහ. කෙසේ හෝ අවසානයේ 1982 ජනවාරි 21 වැනිදා ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ සමඟම රට පුරා පාසල්, විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාලවල සිසුහු පාරට බැස එයට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණක් ආරම්භ කළහ. එවකට ගාලුමුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා තිබූ නමුත් දහස් ගණනක් වූ විශ්වවිද්‍යාල සිසුහු ගාලුමුවදොරට රැස් වූහ. එහි දී විශ්වවිද්‍යාල සිසුන් මර්දනය කිරීම සඳහා පොලිසිය ක්‍රියා කළ ආකාරය එවකට පැවති එක්තරා විකල්ප මත දරන පුවත්පතක් වාර්තා කර තිබුණේ පහත ආකාරයටය.

"අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉරාදමව්, නිදහස් අධ්‍යාපනය කප්පාදු නොකරනු, වරප්‍රසාද ලත් කොටසකට උසස් අධ්‍යාපනය යළි සීමා නොකරව්" ආදී වශයෙන් වූ සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමීව පදික වේදිකාවේ පෙළගැසී සිටි භික්‍ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලිසිය පහරදුන්නේය. අශ්වයින් පිට නැඟුණු පොලිස් නිලධාරීහු පිරිසක් සිසුන්ගේ ඇඟට අශ්වයන් පැන්නවූහ. කරකියා ගන්නට දෙයක් නැතිවූ අහිංසක සිසුහු මුහුදට පැන්නාහ. මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක්ම තුවාල ලැබූහ. අශ්වාරෝහක පොලිස්කාරයන් සිසුන් වෙත අශ්වයන් පන්නා ඔවුන් පලවා හැරියේ අශ්වයාට තලන කසයෙන් සිසුන්ට පහර දෙමිනි. ඇතැම් භික්‍ෂුන් වහන්සේලාටද එම පොලිස්කාරයෝ අශ්ව කසයෙන් පහර දුන්හ. මේ අවස්ථාවේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේත්, ඇතැමුන් එම බිම් ප්‍රදේශයේත් සිට මේ දර්ශනය නරඹනු දක්නා ලදී. පොලිසියේ මෙම අස්ප පහරදීම වරින්වර සිදුවූ නමුත් සිසුහුද සටන් පාඨ කියමින් යළි යළිත් පදික වේදිකාවේ පෙළ ගැසුණාහ. කීප වතාවක්ම මෙසේ සිදුවෙද්දී කුළු පොලු රැගත් කැරලි මර්දන පොලිස් හමුදාවක්ද එම ස්ථානයට පැමිණ සිසුන් පසුපස එළව එළවා පහර දෙන්නට වූයේය. එයින් සිසුහු කීප දෙනෙක්ම තුවාල ලැබූහ. විරෝධතා සටන් පාඨ කියමින් මුලින්ම රැස්ව සිටි පිරිස පන්සියයක් පමණ වූ අතර, පසුව එම පිරිසට හතරවටින්ම පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ මහා සංඝරත්නයද එක්වූහ. අන්තිමේදී මේ විරෝධතා ව්‍යාපාරයට දෙදහසකට අධික පිරිසක් එක්ව සිටියහ"

මේ ආදී ලෙස සිදු වූ දැවැන්ත විරෝධය හේතුවෙන් අධ්‍යාපනය පිළිබඳ ධවල පත්‍රිකාව හකුලා ගන්නට එවක රජයට සිදු විය.

මින් පසුවත් විවිධ අවස්ථාවල දී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයන් සඳහා පැවති රජයන් විසින් විවිධ ‍යෝජනා ගෙන එනු ලැබුව ද සාධනීය වේවා නිශේධනීය වේවා විවිධ වූ පාර්ශ්වයන්ගේ විරෝධය මත ඒවා හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රතිස්ථාපනය වන අලුත්ම තීරණය

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව මීට ටික දිනකට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබිණි. මෙම කාරක සභාවේ සභාපති වන්නේ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාය. කාරක සභා වාර්තාව 2023 ජූලි 21 වැනිදා මුද්‍රණය කිරීමට නියම කළ බව එම වාර්තාවේ සඳහන් වේ.

කාරක සභා වාර්තාවේ තෙවැනි පරිච්ඡේදයේ හා කාරක සභාවේ නිර්දේශ ඇතුළත් සිව් වැනි පරිච්ඡේදයේ තෙවැනි ශීර්ෂය යටතේ මෙරට උසස් අධ්‍යාපනයේ ඇති විය යුතු ප්‍රතිසංස්කරණ දක්වා තිබේ. ඒ අතරින් මේ වන විට සමාජය තුළ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කර ඇත්තේ, කාරක සභා වාර්තාවේ නිර්දේශ යටතේ දක්වා ඇති උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි. එහි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිබඳ දක්වා ඇති නිර්දේශයන් පහත පරිදි වේ.

4.4.1 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ 1995 අංක 12 දරන පනත යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ප්‍රතිස්ථාපනය කරමින් නව පනතක් මඟින් ස්වාධීන ''ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක්'' පිහිටුවීම.

4.4.2 කොමිෂන් සභාව සාමාජිකයන් 11 දෙනෙකුගෙන් (හෝ සුදුසු සංඛ්‍යාවකින්) සමන්විත විය යුතු අතර, ඔවුන් ශාස්ත්‍රීය, වෘත්තීය සහ කළමනාකරණය වැනි අදාළ ක්ෂේත්‍රවල සැලකිය යුතු විශිෂ්ටත්වයක් අත්කරගත් පුද්ගලයන් විය යුතුය.

4.4.3 කොමිෂන් සභාවට එහි බලතල, කාර්‍යයන් සහ රාජකාරි ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට බලය තිබිය යුතුය.

4.4.4 කොමිෂන් සභාවේ සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ව අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු අතර ඔවුන් වසර තුනක කාලයක් එම ධුරවල අඛණ්ඩව රැඳී සිටිය යුතුය. ජනාධිපතිවරයා විසින් එසේ පත් කරන ලද සාමාජිකයන්ගෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් කළ යුතුය.

4.4.5 කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන පරිදි සහ එහි රීති තුළ දක්වා ඇති නිර්ණායක අනුව නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත අනුකමිටු පිහිටුවීමට කොමිෂන් සභාවට බලය තිබිය යුතුය. පහත සඳහන් කාණ්ඩ සඳහා මෙම අනුකමිටු පිහිටුවනු ලැබිය යුතුය.

1) රාජ්‍ය විශ්වවිද්‍යාල
2) රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල/ආයතන
3) වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල/ආයතන
4) තත්ත්ව සහතිකය

මෙහි ඇති එක් ප්‍රධාන කරුණක් ලෙස දැනට ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 'වෙනත්' ආයතනයක් වීම හඳුනාගත හැකිය. වාර්තාවේ සඳහන් වන්නේ, එය ප්‍රතිස්ථාපනය කරන බවකි. මෙම ප්‍රතිස්ථාපනය යන යෙදුම, අහෝසි කිරීම, වසා දැමීම, ඉවත් කිරීම ආදී යෙදුම් සමඟ ප්‍රායෝගික ව ගැළපෙන්නේ කුමන ආකාරයට ද යන්න අපි පහදා ගත යුතු වෙමු. 

වාර්තාවේ 4.4.11 යටතේ මෙවැන්නක් දක්වා ඇත,

''ආයතන කෙන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය දිරිමත් කිරීම සහ සුදුසු ආපසු ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යටත්ව සිසුන්ට මූල්‍ය ආධාර සැපයීම''

දැනට විශ්වවිද්‍යාල සිසුන් සඳහා රජයෙන් ලබා දෙනු ලබන දීමනාව මහපොළ ශිෂ්‍යත්ව ආධාරය ලෙස හැඳින්වේ. දැනට එය මසකට රුපියල් 5,000ක් ලෙස සිසුන්ට හිමි වේ. එය ද පසුගිය අර්බුද සමය තුළ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී තිබුණු අතර, මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරන මුදල භාණ්ඩාගාරයට ලබා දීම අපහසු බව දැනුම් දී තිබිණි. ඒ අනුව සමස්ත මුදලම මහපොළ අරමුදලෙන් දැරිය යුතු බවත් එහි දී හඳුනාගෙන තිබිණි. 

වාර්තාවේ සඳහන් උක්ත වගන්තිය තුළ ඇත්තේ, එක්තරා ශිෂ්‍ය ණය ක්‍රමයක් ද යන්න අපට ඇති වන ප්‍රශ්නාර්ථයකි. එසේ නම්, එවැනි ණය ක්‍රමයක් හරහා දැනට ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය කප්පාදු වීමක් සිදු වනවා ද? එසේ නොවන බවට වගවිය හැක්කේ කා හට ද? ණයක් යනු, නැවත ගෙවා දැමිය යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දීමනාවක් නොවේ. අප පෙර සඳහන් කළ පරිදි පුරවැසි බදු මුදල් පෙරළා පුරවැසියාට ලබා දීම ණය ක්‍රමයක් හරහා සිදු කළ හැකි ද? ඒ කෙසේ වෙතත් මහපොළ රුපියල් 5,000 හෝ ලබා දෙන්නට මහා භාණ්ඩාගාරය අසමත් වනවා නම්, ශිෂ්‍ය ණය දීමක් ගැන සිතීම තරමක් ගැටලුකාරී වේ.

මේ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්‍ය සම්පත් අමරතුංග මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ, තවමත් මෙම වාර්තාව කාරක සභා වාර්තාවක් පමණක් වන නිසා, ඒ පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු නොකළ බවයි. නමුත් නුදුරේදීම ඒ පිළිබඳ අධ්‍යයනයකින් පසු ව අදහසක් ඉදිරිපත් කරන බව ද මහාචාර්‍යවරයා පැවසුවේය. තමා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරින් රාජ්‍ය සේවකයන් පමණක් බවත් කාරක සභා වාර්තාවක නිර්දේශ සඳහා මැදිහත් වීමක් දැනට සිදු නොකළ බවත් ඔහු අවධාරණය කළේය.

මේ පිළිබඳ උක්ත කාරක සභාවේ සාමාජිකයකු වන මහාචාර්‍ය චරිත හේරත්ගෙන් අපි  විමසීමක් සිදු කළෙමු. එහි දි ඔහු විසින් පළ කළේ මෙවැනි අදහසකි,

''මේ කාරක සභා වාර්තාවෙන් අපි යෝජනා කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. ඒ තමා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අපි කරපු යෝජනා. මේක තවම කාරක සභා වාර්තාවක් විතරයි. තවම පනතක් වත් පනත් කෙටුම්පතක් වත් සකස් වෙලා නෑ. මේකෙ දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි වෙනවා කියලා එකක් වෙන්නේ නෑ. මොක ද මේක වාර්තාවක් විතරයි. තාම මේ වාර්තාවට අදාළ පනත් කෙටුම්පතක් හදන්න ආණ්ඩුවට අදහසක් තියනව ද කියලා වත් මට නම් අදහසක් නෑ. මේ වාර්තාවෙ තියන යෝජනාවට අනුව ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව කියන ආයතනය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල කියන එකත් දක්වලා තියනවා. මේකේ යෝජනා ගොඩක් තියනවා. දැන් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයින්ට මහපොළ විතරක් මදි. ඒ නිසා යෝජනා යටතේ ශිෂ්‍ය ණයක් ලබා දීම ගැනත් අපි ඉදිරිපත් කරලා තියනවා. කොහොම වෙතත් දැන් තියන ක්‍රමය ගැන හරි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ගැන හරි එක්ක වාර්තාවේ තියෙන කරුණු විශේෂයෙන් සංසන්දනය කරන්න බෑ. මොක ද මේක තාම වාර්තාවක් විතරයි''

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මතය

උක්ත වාර්තාව 2023 ජූලි 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඒ පිළිබඳ කරුණුමය විවේචන ගණනාවක් ඉදිරිපත් කළේය. ඒ පිළිබඳ ඔවුහූ කුඩා පොත් පිංචක් මෙන්ම දැනුම්වත් කිරීමේ පත්‍රිකා ද මුද්‍රණය කළහ. එම එක් අත් පත්‍රිකාවක තිබුණු කරුණු කිහිපයක් පහතින්,

ධවල පත්‍රිකාවේ අඳුරු හෙවණැල්ල
1) පොකුරු පාසල් හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ක්‍රියාත්මක කිරීම
2) පෞද්ගලික පාසල් නීතිගත කිරීම

පෑල දොරින් එබී බලන උපාධි කඩ මාෆියාව
1) පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීම
2) පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය බිඳවට්ටමින් ඒවා ක්‍රමිකව උපාධි කඩ බවට පත් කිරීම. 
3) උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සෘජු දේශපාලන මැදිහත් වීමට ඉඩ විවෘත කරගැනීම

නව කොමිසම අතකොළුවක්?

අප විසින් කාරක සභා වාර්තාවේ 4.4.4 යටතේ උපුටා දැක්වූ කොමිසම පත් වීම පිළිබඳ කාරණය ද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විවේචනයට භාජනය කර ඇත. එනම් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාව මඟින් විශ්වවිද්‍යාලවල ස්වාධීන පැවැත්ම නැති වී ජනාධිපතිගේ රූකඩයක් බවට පත් වන බව ඔවුහූ අවධාරණය කරති.

මීට අමතර ව කාරක සභා වාර්තාවේ අංග ගණනාවක් ම ඔවුන්ගේ විවේචනයට භාජනය වී තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුශාන් චන්ද්‍රජිත්,

''රටේ ආර්ථික අර්බුදය විසඳන්න කියලා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ විසින් අයිඑම්එෆ් යෝජනා ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒකෙම දිගුවක් විදියට පුරවැසියන්ගේ නිදහස් සෞඛ්‍යය, නිදහස් අධ්‍යාපනය කියන ඒවත් කප්පාදු කරමින් යනවා. ඒකට අදාළ උසස් අධ්‍යාපන කප්පාදුව තමා රනිල් - විජේදාස කාරක සභා වාර්තාව විදියට ඇවිල්ලා තියෙන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට නෛතික තත්ත්වයක් දීලා, ඒවට තත්ත්ව සහතික දෙන්න වගේම ඒවට අවශ්‍ය සමාජ අනුමැතිය ගන්න තමා මේ සූදානම් වෙන්නේ. ධවල පත්‍රිකාවේ තියෙන සමහර දේවලුත් මේකෙ අඩංගු වෙනවා. ඒත් අපි පැහැදිලිව කියනවා. දශක හතරක් තිස්සේ, ලෙයින් දහඩියෙන් වගේම ජීවිතයත් කැප කරලා නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් කටයුතු කරපු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විදියට අපි මේ යෝජනාව පරාජය කරනවා''

සියල්ල වෙනස් වේ. වෙනස් නොවන කිසිවක් ලොව නැත. එනයින් රාජ්‍ය ප්‍රතිපත්ති ද වෙනස් වනු ඇති බව අප වටහා ගත යුතුය. රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වන විට, යාවත්කාලීන වන විට එම රාජ්‍යයේ අධ්‍යාපන, සෞඛ්‍යය ඈ ආදී ප්‍රතිපත්ති ද වෙනස් වේ. එසේ නමුත් නොවෙනස් ව පැවතිය යුතු දෑ ද තිබිය හැකි බව අප තේරුම් ගත යුතුය. නිදහස් අධ්‍යාපනය සදාකල් නිදහස් අධ්‍යාපනය ලෙසම පැවතිය යුතු ද? දේශපාලනිකය විසින් ගෙන එන නව අදහස් හා යෝජනා මඟින් එය අභියෝගයට ලක් වනවා ද? එසේ වීමේ ගැටලුවක් නොමැති ද? ඒ පිළිබඳ විමසා බලා තාර්කික නිගමනයකට එළැඹීම සබුද්ධික පුරවැසියාගේ කාර්‍යයකි.