උමේෂ් වෙනුවෙන් හඬා වැලපෙන දෙමාපියන්ගේ ආයාචනය

උමේෂ් වෙනුවෙන් හඬා වැලපෙන දෙමාපියන්ගේ ආයාචනය

September 11, 2023   01:29 pm

මිනිස්සු අසරණ වෙන්නේ නොහිතූ විදිහට නොසිතූ වෙලාවන්වලය. ඒ අසරණ වීමත් දරුවන් සම්බන්ධ කාරණයක් නම් එය තවත් සංවේදී සිදුවීමකි.

මේ එවැනිම අසරණ තත්ත්වයට පත්වු මාපිය යුවළක් සංවේදී ඔබෙන් කරන කාරුණික ආයාචනයකි.

මේ පුංචි නංගි කෙතරම් ඇවිටිලි කළත් අයියා දැන්ම නැගිටින පාටක් නැහැ. නැගිටින්න ඕන වුණත් අයියාට නැගිටින්න හයියක් නැහැ.

මේ පුංචි අයියා උමේෂ් මයුර හංසන.

හොරණ බටුවිට වෙසෙන හංසන පුතාගේ වයස දැන් අවුරුදු 13ක්. හංසන මෙහෙම ඇඳ මතට වෙලා ඉන්නෙ නොහික්මුණු ත්‍රිරෝද රථ රියදුරෙකු සිදුකළ අනතුරක් හේතුවෙනි. 

මීට මාස හතරකට පෙර හංසන උපකාරක පන්ති යමින් සිටියදී අනතුරකට මුහුණදෙන අතර ඔහුගේ හිසට දැඩි හානි සිදුව තිබේ.

හංසන පුතුගේ මව,

" මාස දෙකයි දවස් 20ක් ICU එකේ හිටියා.  දවස් 2ක් වෝඩ් එකේ තියාගෙන ඉදලා ගෙදර එව්වා. තාමත් ඒ විදිහයි දරුවා. අතක් පයක්වත් තවම හොලවන්නේ නැහැ. ඇස් දෙක අරිනවා විතරයි. ඔළුවේ තමයි ඔපරේෂන් එක කරලා තියෙන්නේ. තවම ඔළුකටුව හයිකරලා නෑ. හම විතරයි තියෙන්නේ. ගොඩක් පරිස්සම් කරන්න ඕනේ දරුවාව. "

එදා සිට මේ දක්වාම මව්පියන්, හංසන සුවකරන්නට නොගන්නා උත්සාහයක් නැත.

ගම්වැසියන් පාසල් ගුරුවරු ඇතුළු බොහෝ දෙනෙක් හැකි පමණින් ඔවුන්ට සහාය වෙනවා.

හංසනගේ බේත්හේත්වලට වගේම කිරිපිටිවලට මාසෙකට වැයවන මුදල රුපියල් 60 දහසක් පමණි.

මේ ආර්ථික අර්බුදයත් එක්ක ඒ වියදම දැරීම මව්පියන්ට හිතාගන්නටත් බැරි තරම්.

හංසනගේ පියා කළේ කුලී වැඩ.

හංසනගේ අම්මත් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක් කළ නිසා ඔවුන් කාටත් අත නොපා ජීවත් වුණි.

ඒත් දැන් දරුවා වෙනුවෙන් කැපවෙන්නට කාලය අවැසි නිසාම ඔවුන්ට අඛණ්ඩව රැකියාවක නිරත වීමත් ප්‍රශ්නයක්.

මව්පියන්, තමන් වෙසෙන පුංචි කුලී නිවහනේ සාරිවලින් කාමරයක් වෙන්කර හංසනව පරිස්සම් කරන්නේ විෂබීජයක්වත් නොයන්නට.

මේ වෑයම් සාර්ථක වෙලා හංසන ආයේ නැගිටින්න නම් ඔබේ උදව් උපකාරත් ඕනෑමයි.

පුතු දෙපයින් නැගිටිනවා දකින්නට ආසාකරන මව්පියන්ගේත්, අයියා නැගිටිනකල් බලා ඉන්න පුංචි නංගීගේත් බලාපොරොත්තු ඉටුකරන්න උදව් කරන්න ඔබට හැකිනම් ලොකු පිනක්.

හංසන පුතුගේ මව,

"දරුවගේ පිටි ටික බෙහෙත් ටික ගන්න හරි කවුරුහරි උදව් කරන්න කැමති නම් උදව් කරන්න"

වැඩි විස්තර දැනගන්න හංසන පුතුගේ මවගේ දුරකථන අංකය 0764723594