වර්ෂාවෙන් සිදු වූ වගා හානිවලටත් වන්දි

වර්ෂාවෙන් සිදු වූ වගා හානිවලටත් වන්දි

September 10, 2023   12:03 pm

වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති කුඹුරු අක්කර සිය ගණනක් විනාශයට පත් ව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ඒ අනුව නියඟයෙන් මෙන්ම වර්ෂාවෙන් වගා හානි සිදු වූ ගොවි ජනතාවට නිසි වන්දියක් ලබා දෙන ලෙස තමන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව තංගල්ල නෙටොල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක වර්ෂාවෙන් හානියට පත් කුඹුරු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසා ඇත.

ඒ අනුව එම නිලධාරීන් විසින් ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.