ඕමානයේ දී වධ හිංසනයට ලක්වූ පෙදරේරුවා යළි මව්බිමට
September 8, 2023 03:16 pm
පෙදරේරුවකු ලෙස සේවය කිරීම සඳහා සංචාරක වීසා මඟින් ඕමානයට ගිය අයෙකු එරට දී අමානුෂික වධ හිංසනයට ලක් ව සිටිය දී එරට තානාපති කාර්යාලය විසින් මුදාගෙන මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.
ඕමානයට ගිය තම සැමියා එරට දී විවිධ වධ හිංසනයන්ට ලක්වන බව එම පුද්ගලයාගේ බිරිඳ විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් මේ බව ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යලයේ නිලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව ඕමාන තානාපති කාර්යාලයේ නිලධාරීන් මැදිහත් වී පෙදරේරුවා ඉකුත් 07 වැනිදා මෙරටට එවීමට කටයුතු කර තිබේ.
මේ අතර, මෙම පෙදරේරුවා සංචාරක වීසා මඟින් ඕමානයට යැවූ බව කියන මතුගම - නවුත්තුඩුව පදිංචිකරුවකු ද විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු එම පෙදරේරුවා ඕමානයට යැවීම සඳහා රුපියල් 7,50,000ක මුදලක් අය කර ඇති බව ද විමර්ශනවල දී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.