මාරක අපල පෙන්වා ලක්ෂ 15ක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට

මාරක අපල පෙන්වා ලක්ෂ 15ක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට

September 6, 2023   11:51 am

"සුදූ ඔයාට මාරක අපලයක් තියෙනවා. ඒකට ශාන්තිකර්මයක් කරන්න ඔයාගෙම සල්ලි ඕනේ, ඒකෙන් පස්සෙ  අපි දෙන්නට බඳින්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාගේ, ඔයා මගේ'' යැයි පවසමින් 38 හැවිරිදි සංවර්ධන සහකාරවරියකගෙන් රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි දෙදරු පියෙකු අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය නිවේදනය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව මෙවැනිම මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වැලිමඩ අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මීට වසරකට පමණ ඉහත දී හදිසියේ ස්වාමි පුරුෂයා මිය ගිය දරුවන් නොමැති කාන්තාවක් ස්වාමිපුරුෂයාගේ ඥාතීන්ගේ අවසරය මත සති අන්ත පුවත්පතකට සහකරුවෙකු සොයා මංගල දැන්වීමක් පළකර ඇත.
 
දැන්වීම පළ වී දින කිහිපයකට පසු පුද්ගලයකු එම කාන්තාව අමතා, හිතවත්කමක් ගොඩනඟා ගෙන තිබේ.

මෙම පුද්ගලයා ඇය හමුවීමට පැමිණ ඇති අතර, තමා ඇඟලුම් කර්මාන්තශාලාවක හිමිකරුවකු බවත් හෝමාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි ව සිටින බවත් සඳහන් කර ඇත.

එසේම, තමාට මව්පියන් සහ සහෝදර සහෝදරියන් නොමැති බවත් කාන්තාව කැමති නම් රැකියාවට නොයා ව්‍යාපාරවල දියුණුව සඳහා කටයුතු කරගෙන සිටීමට හැකි බවත් සැකකරු කාන්තාවට පවසා තිබේ.

නමුත් ඒ සියලුම කටයුතු සිදු කෙරෙන්නේ, දෙදෙනාගේ හඳහන් ගැළපෙන්නේ නම් පමණක් බවත් සැකකරු විසින් කාන්තාව දැනුම්වත් කර ඇත. 

එලෙස පවසා සැකකරු විසින් කාන්තාවගේ හඳහනේ පිටපතක් ඉල්ලාගෙන, දින කිහිපයකට පසු සිනහ මුසු මුහුණින් පැමිණ දෙදෙනාගේ හඳහන් ගැළපෙන බව සඳහන් කර තිබේ.

නමුත් සැකකරු විසින් කාන්තාවගේ අතින් අල්ලාගෙන, පොඩි පරහක් තියෙනවා යැයි දුක්මුසු පෙනුමක් මවාගෙන, කලබල වෙන්න එපා යැයි පැවසූ බව සඳහන්ය.

අනතුරුව සැකකරු විසින් සංවර්ධන සහකාරවරිය අමතා ''සුදූ ඔයාට මාරක අපලයක් තියෙනවා කියලා හඳහන් බලපු තැනින් කිවුවා. සුදූ ඒකට ශාන්තිකර්මයක් කරන්න තියෙනවා. ඒකට වැය කරන්න ඕනේ ඔයා දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි. මගේ සල්ලිවලින් ඒකට වියදම් කළොත් ශාන්තිකර්මය හරියට ඉෂ්ට වෙන්නෙ නැහැලු. ඔයා මට රුපියල් ලක්ෂ 25ක් දෙන්න. ඔයාගේ අපලෙ දුරු වුණාම මම ඒක රිටන් කරන්නම්. මම දන්න කියන හාමුදුරු කෙනෙක් අනුරාධපුරයේ ඉන්නවා. එයාට කියලා වැඩේ කරගමු. නැත්තම් අපි කපටින්ට අහුවෙනවා'' යනුවෙන් පවසා ඇත.

එම බස් ඇසූ සංවර්ධන සහකාරවරිය, සැකකරු ලබාදුන් ගිණුම් අංක හතරකට අවස්ථා හයක දී මුදල් බැර කර ඇති බව පොලීසිය වාර්තා කරයි.

එයින් දින කිහිපයකට පසු සැකකරුගෙන් ලැබෙන දුරකථන ඇමතුම් ද දිනෙන් දින අඩු වී ඇති බව සංවර්ධන සහකාරවරිය පවසා ඇත.

ඒ පිළිබඳ සැකයක් ඇති වීමෙන් අනතුරුව පැමිණිලිකාර කාන්තාව, වෙනත් දුරකථන අංකයකින් සැකකරුගේ  දුරකථනයට ඇමතුමක් ගත් අවස්ථාවේ දී කුඩා දරුවන් හඬා වැටෙන හඬ ඇසුණු බව සඳහන් කර තිබේ.

පැමිණිලිකාරිය විසින් සුපුරුදු ලෙස ගන්නා දුරකථන අංකයට අවස්ථා කිහිපයක දී ඇමතුම් ලබා ගෙන මුදල් පිළිබඳ විමසීමට උත්සාහ ගත්ත ද සැකකරු දුරකථනය විසන්ධි කර තිබූ බව පැමිණිලිකාරිය විසින් පොලීසියට සඳහන් කර ඇත.

අනතුරුව මේ සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද මූලික විමර්ශනවල දී අදාළ සැකකරු මීට පෙර බදුල්ල ප්‍රදේශයෙන් විවාහ වී සිටි පුද්ගලයකු බවත් එම කාන්තාවට දාව ඔහුට දරුවකු සිටින බවත් අනාවරණය කරගෙන තිබේ.

සැකකරු ඒ වෙනුවෙන් එම කාන්තාවට නඩත්තු ගෙවන බව හා දෙවන විවාහයේ බිරිඳට දරුවන් දෙදෙනෙකු සිටින බවත් ඇය සමඟ සැකකරු මේ වනවිට මාලඹේ නිවසක දිවි ගෙවන බවත් හෙළි වී ඇත.

ස්ථිර රැකියාවක් හෝ ස්ථිර පදිංචියක් නොමැති සැකකරු, කාන්තාවන්ට විවාහ පොරොන්දු දී මුදල් වංචා කර  විවිධ ප්‍රදේශවල ඉහළ මිල ගණන්වලට තිබෙන තාප්පවලින් වටවූ නිවාසවල කෙටි කලක් රැඳී සිටීම පුරුද්දක් කරගෙන ඇති බව පොලීසිය හෙළිදරව් කරගෙන තිබේ.

සැකකරු රැඳී සිටි මාලඹේ නිවස වටලන අවස්ථාවේ දී සැකකරු තාප්පයෙන් පැන පළා යාමට තැත්කිරීමේ දී දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

40 හැවිරිදි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.