මිතුරු හමුව ගැන අමෙරිකාව අවධානයෙන්
September 5, 2023 03:11 pm
නිල සංචාරයක් සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් රුසියාවට පැමිණීමට නියමිතව ඇතැයි අමෙරිකානු බලධාරීන් අනාවරණ කරයි.
ඔවුන්ට පවසන්නේ, යුක්‍රේන යුද්ධය සඳහා අවශ්‍ය ආයුධ උතුරු කොරියාවෙන් ලබාගත හැකි ද යන්න මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවය.
ඔවුන්ට අනුව මෙම සංචාරය මේ මාසය තුළ සිදුවීමේ අවස්ථාවක් පවතී.
මෙම පුවත වාර්තා කරමින් අමෙරිකානු මාධ්‍ය පුරෝකතනය කර ඇත්තේ, ඒ සඳහා කිම් ජොන්ග් අන් සන්නද්ධ දුම්රියක් යොදාගනු ඇති බවටය.
දෙරටේ දේශසීමාව ඔස්සේ පැමිණ ඒ අසළ පිහිටි රුසියානු නගරයක් වන ව්ලැඩ්වොස්ටොක් හිදී ඔහු ජනාධිපති පුටින් හමුවන බවද මෙහිදී වාර්තා කර තිබුණි.
දෙරට අතර අවි ගනුදෙනු පවතින බවට ධවල මන්දිරය තොරතුරු සපයා ඇති පසුබිමක මේ පුවත වාර්තා වී තිබේ.
උතුරු කොරියානු නායකයා පසුගිය ජූලි මාසයේදී රුසියානු ආරක්ෂක ඇමති සර්ගෙයි ෂූලෝව් ද හමුවුණි.
ඒ උතුරු කොරියාවේ පියොන්යැන්ග් අගනුවරදී ය.
එහිදී ඔවුන් කොරියානු යුද්ධය අවසන් වීමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වුණු දැවැන්ත හමුදා ආචාර පෙළපාලියක් සඳහා ද එක්වුණි.
මෙම හමුව අතරතුර රුසියාවට, උතුරු කොරියාවෙන් අවි ලබාගත හැකි ද යන්න පිළිබඳ සාකච්ඡා වූ බව අමෙරිකානු ආරක්ෂක කවුන්සිල ප්‍රකාශක ජෝන් කර්බි පවසයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් වෙත අවි ලබාදෙන ලෙස ෂූලෝව් එහිදී උතුරු කොරියානු නායකයා පෙළඹවා ඇති බවය.
ඉන් අනතුරුව රාජ්‍ය නායකයින් අතර ඒ සම්බන්ධයෙන් ලිපි හුවමාරු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කෙසේ නමුත් එසේ රුසියාවට අවි අලෙවි නොකරන ලෙස ද කර්බි උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේ , එසේ කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක ඇතුළු පියවර ගන්නා බවට අනතුරු අඟවමිනි.
එමෙන්ම අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ, කාලතුවක්කු, යුද ටැංකි නාශක මිසයිල රුසියාව වෙත ලබාදී ඒ වෙනුවට දියුණු චන්ද්‍රිකා තාක්ෂණය සහ න්‍යෂ්ටිකව බලගැන්වූ සබ්මැරීන ලබාගැනීම උතුරු කොරියාවේ අපේක්ෂාව බවය.
මේ සම්බන්ධයෙන් උතුරු කොරියාවේ පසමිතුරු අසල්වැසියා වන දකුණු කොරියාව ද ප්‍රබල විරෝධයක් පළකරයි.
එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව ඔවුන් පවසයි.
රුසියාව, චීනය සහ උතුරු කොරියාව එක්ව නාවුක අභ්‍යාසයක් පැවැත්විය යුතු බවට රුසියානු ආරක්ෂක ඇමති සර්ගෙයි ෂූලෝව්, සිය උතුරු කොරියානු සංචාරය අතරතුර යෝජනා කර ඇතැයි ද දකුණු කොරියානු ආරක්ෂක අංශ නිවේදනය කරයි.
කිම් ජොන්ග් අන් 2019 වසරේ අප්‍රේල් මාසයේදී රුසියාවට පැමිණි අතර ඔහු සහ පුටින් අතර හමුව පැවැත්වුණේ ව්ලැඩ්වොස්ටොක් නගරයේ දීය.
එවර ද ඔහු පැමිණියේ දුම්රියෙන් වන අතර එය වාර්තාවන්නේ ඔහු විදෙස් ගතවූ අවසන් අවස්ථාව ලෙසය.
ඊට මසකට පෙර වියට්නාමය වෙත ගමන් කළ කිම් ජොන්ග් අන් එවක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවුණි.
මේ අතර රුසියාවට අවි අලෙවිකිරීමට උතුරු කොරියාව සූදානම් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් රුසියාව හෝ උතුරු කොරියාව තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.