ළමා අපචාර ඉහළ යාම, ළමා ආරක්ෂණය සහ නීතිය ක්‍රියාත්මක වීම; අපරාධය සහ දඬුවම පිළිබඳ විමසුමක්

ළමා අපචාර ඉහළ යාම, ළමා ආරක්ෂණය සහ නීතිය ක්‍රියාත්මක වීම; අපරාධය සහ දඬුවම පිළිබඳ විමසුමක්

September 3, 2023   11:28 am

2023-08-31 පළ වූ පුවතක් පහතින්,

''මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය ජනවාරි පළමු වන දින සිට ජුලි 31 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 5,456ක් පමණ ලැබී ඇති බවයි.

ඒ අතර ළමුන් ක්‍රෑරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,296ක්, බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 163ක්, බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම් සම්බන්ධව පැමිණිලි 242ක් ලැබී තිබේ.

එමෙන්ම ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් ද පැමිණිලි 196ක් ලැබී ඇති බව උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේය.

වැඩි වශයෙන් ළමුන් සිඟමනට යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි කොළඹ සහ නාගරික තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

විශේෂයෙන් ආලෝක සංඥා පුවරු, සුපිරි වෙළෙඳසල් ආශ්‍රිත සහ ඇතැම් ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් ළමුන් සිඟමනේ යෙදවීම් බහුලව සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ළමුන් සිඟමනට යෙදවීම් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය දැඩි අවධානයක් යොමුකර තිබේ.

මේ අතර, සමාජ මාධ්‍යය භාවිතය සහ සයිබර් අවකාශය තුළ ළමුන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 110ක් ලැබී ඇත.

එහි දී ගැහැණු ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 76ක් ද පිරිමි ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 31ක් ද ලැබී ඇති බව සඳහන්ය.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මේ වන විටත් පොලිස් ස්ථාන වෙත දැනුම් දීම් සිදුකර ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

මේ අතර, ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම අධිකාරිය සකස් කර ඇති ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා සකස් කළ පස් අවුරුදු ජාතික සැලැසුම සැප්තැම්බර් මාසය තුළ දී කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ''

මෙසේ මාස 07ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති මොහොතක දී ළමා අපචාර හා ළමා ආරක්ෂණය පිළිබඳ අලුත් සංවාදයක් ඇතිකිරීම යනු, නොවැළැක්විය හැකි බරපතළ අවශ්‍යතාවකි.

ප්‍රවේශය

හොඳම දේ ළමයින්ට යනුවෙන් ජනප්‍රිය කියමනක් සමාජය තුළ දක්නට ඇත. කවර සමාජ දේහයක වේවා, ළමයා කෙරෙහි විශේෂ සැලකිල්ලක්, ආරක්ෂණයක්, සුභසාධන ක්‍රියාවලියක් හඳුනාගත හැකිය. ඕනෑම සමාජයක අනාගත යනු, දරුවන් නොඑසේ නම් ළමයින්ය. රාජ්‍යයක ශ්‍රම බළකාය භාරගැනීමට හා ශ්‍රම බළකාය විශ්‍රාම ගිය පසු එයට ආදේශ වන්නේ, පෙර දී ළමුන් සේ සිටි සමාජ කාණ්ඩයයි. මෙය ඕනෑම රාජ්‍යයක එක්තරා රටාවක් සේ ක්‍රියාත්මක වන්නා වූ ක්‍රියාවලියකි. ළමයා, තරුණයා හා වැඩිහිටියා යන සමාජ කාණ්ඩ ත්‍රිත්වය, ඒ ඒ කාලවල දී තමාට අනන්‍ය වූ හා නියම කරන ලද කාර්‍යයන් රාජ්‍යය වෙනුවෙන් ඉටුකරති. මහා ගොඩනැඟිල්ලක් බිහිවීමට නම්, එහි අත්තිවාරම මනා සේ සකස් විය යුතුය. විසල් ගසක් බිහි වන්නේ, එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. එනයින් රාජ්‍යයක් තුළ යහපැවැත්මෙන් යුතු පුරවැසි අපේක්ෂාව යන්න, එම රාජ්‍යය ළමයා කෙරෙහි දක්වා ඇති ආරක්ෂණ ක්‍රියාවලියට සාපේක්ෂ වේ. 

70 දශකයේ සිදුවූ සමන් කුමාර දරුවාගේ ඝාතනය රටම කම්පා කළේය. කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය, මෑතක දී සිදුවූ ෆාතිමා අයිෂාගේ ඝාතනය එවැනිම කම්පනයන් ඇති කළ සිදුවීම්ය. මේවාට අමතරව පුවත්පත්වල දිනපතා පළවන වාර්තා හරහා ද සමාජය තුළ තිගැස්සීම් නිර්මාණය වේ. පියා අතින්, සීයා අතින්, සොහොයුරා අතින් හෝ වෙනත් නෑදෑයකු නැතිනම් බාහිර පාර්ශ්වයක් අතින් අපයෝජනයට ලක්වූ දරුවන් ගැන ඒවායෙ හි ඕනෑ තරම් කියවන්නට ලැබේ. එකදු හෝ ළමා අපචාර සිදුවීමක් වාර්තා නොවන පුවත්පතක් සොයාගැනීම කළුනික සොයන්නා සේ අසීරු කටයුත්තක් වී ඇත. එතරමටම ළමා අපචාර සමාජය තුළ වර්ධනය වී ඇති අතර, ඊට සාපේක්ෂව ළමා ආරක්ෂණය තීව්‍ර වී ඇති ද යන පැනය අපට නැඟේ.

ළමයා, දණ්ඩ නීති සංග්‍රහය සහ විවිධ අණ-පනත්

1989 නොවැම්බර් 20 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට (CRC) අනුව "නීතිය මඟින් අඩු වයසක දී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන් වේ'' යනුවෙන් හඳුන්වා ඇත. වයස අවුරුදු 18ට අඩු මනුෂ්‍යයන් දරුවන් බව මෙනයින් සරලව හඳුනාගත හැකිය. මෙම ප්‍රඥප්තිය වගන්ති 54කින් සමන්විත වන අතර, මුල් වගන්ති 42 තුළ ළමයා පිළිබඳ නිර්වචනය, ළමුන්ගේ අයිතිවාසිකම්, ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන් වෙත පවත්නා වගකීම විස්තර කර තිබේ.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය නිර්මාණය වන්නේ, 1883 වර්ෂයේය. එම දණ්ඩ නීති සංග්‍රහය තුළ ළමා ආරක්ෂණය පිළිබඳ නීතික ප්‍රතිපාදන විස්තර කර ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 75 සහ 76 වන වගන්ති ප්‍රකාරව වයස අවුරුදු 08ට අඩු දරුවකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් හෝ ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවුරුදු 08ට වැඩි නමුත් 12ට අඩු දරුවකු විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් නීතිය අනුව අපරාධයක් ලෙස සැලකෙන්නේ නැත. එසේම වයස අවුරුදු 12ට අඩු දරුවකු දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු විසින් අතහැර දැමීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. 

ළමා ආරක්ෂණය පිළිබඳ වැදගත් වන තවත් පනත් කිහිපයක්ම ඇති අතර,1939 දී බලාත්මක කරන ලද ළමුන් හා තරුණයන් පිළිබඳ ආඥා පනත, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැළැක්වීමේ පනත ද වැදගත් පනත් සේ හඳුනාගත හැකිය. උක්ත පනත ප්‍රකාරව යම් පුද්ගලයකු විසින් අවුරුදු 14ට අඩු දරුවකු සේවයෙහි යෙදවීම දඩුවම් ලැබිය හැකි වරදකි. මෙම පනත්වලට අමතරව මෑත කාලීනව නිර්මාණය වූ පනත් 05ක් පිළිබඳව ද ළමා ආරක්ෂණය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී හදුනාගත හැකිය.

1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
1998 අංක 27 දරන අධිකරණ (සංශෝධන) පනත
1998 අංක 29 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත
2005 අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත,
එම පනත් වේ.

ළමා අපචාර නොඑසේ නම් ළමා අපයෝජන විවිධ තත්ත්වයන් යටතේ සාකච්ඡා කළ හැකිය. කායික අපයෝජනය, චිත්තවේගී අපයෝජනය, ළමුන් මෙහෙකරුවන් ලෙස යෙදවීම, ලිංගික අපයෝජනය ආදිය මෙම අපයෝජනයන් වේ. මේ අත‍රින් සමාජය තුළ ප්‍රධාන කොට සාකච්ඡා කරන්නේ, ලිංගික අපයෝජන පිළිබඳවය. නමුත් ළමා අපචාර හෝ අපයෝජන යනු, ලිංගිකව සිදුකරන හිංසනයන් පමණක් නොවේ. 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා,

''මෙතන දී භාවිත කරන්න ඕන නිවැරදිම වචනය තමා ළමා අපයෝජනය කියන වචනය. ළමයින්ට එරෙහිව සිදුවන අපරාධයක්, නොසලකා හැරීමක් අපයෝජනයක් විදියට හඳුනාගන්න පුළුවන්. ළමයෙකුට ශාරීරිකව හෝ මානසිකව පීඩාවට පත් කරන දෙයක්, ළමයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන දෙය අපයෝජයනයක් විදියට සලකන්න පුළුවන්''

"ළමාරක්ෂණ අධිකාරිය විදියට අපට කාර්‍යභාරයන් කිහිපයක්ම තියනවා. ළමා අපයෝජනයන් වළක්වා ගැනීමට අවශ්‍ය නීති, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා රජයට අවශ්‍ය උපදෙස් ලබා දීම අපි සිදුකරනවා. ඒ වගේම අපයෝජනයට ලක්වුණ ළමුන්ගේ ජීවිත නැංවීමට අවශ්‍ය සහාය, ඔවුන්ගේ ආරක්ෂාව, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අපි මුල්වෙනවා. ඒ වගේම අපයෝජනයට ලක්වුණ ළමයින්ගේ නඩුකටයුතු සඳහා අවශ්‍ය නීතිමය කටයුතුවල සම්බන්ධීකරණයට අපි දායක වෙනවා. ළමා අපයෝජන පිළිබඳ මහජන පැමිණිලි භාරගන්න එකත් ළමාරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කාර්‍යභාරයක්. භාරගන්න මහජන පැමිණිලි ගැන අවශ්‍ය ආයතන දැනුවත් කරන එකත් අපි කරනවා. පොලීසියට, කම්කරු අමාත්‍යාංශය ඇතුළු ඒ ඒ ආයතනවලට භාරගත්තු පැමිණිලි යොමුකරන එක අපේ වගකීම. ආයතන වගේම ළමාරක්ෂණය පිළිබඳ අණ-පනත් හා ප්‍රඥප්ති රාශියක් තියෙනවා. ඒ හැම එකක්ම මුල් කරගෙන තමා අපි කටයුතු කරන්නේ. ළමුන් හා කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළ වෙනම ප්‍රඥප්තියක් තියනවා. ඒවට අදාළ පැමිණිලි යොමුකරන්නේ, කම්කරු දෙපාර්තමේන්තුවට. පරිවාස කටයුතුවලට අදාළ වෙනම ප්‍රඥප්තියක් තියනවා. ළමුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සඳහා තවත් ප්‍රඥප්තියක් තියනවා. ළමුන් හා යෞවනයන් පිළිබඳ ආඥා පනතට අදාළ කාරණා වෙනම තියනවා. මේ හැම එකක්ම පදනම් කරගෙන අපි ළමා අපයෝජන වැළැක්වීම සඳහා සහ වින්දිතයන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා''

''ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ, ළමා අපයෝජන වැළැක්වීම සම්බන්ධයෙන් අපි යෝජනා කරමින් ඉන්න ජාතික ප්‍රතිපත්තිය ගැන. ඒක ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්''

අපරාධය සහ දඬුවම අතර කාල පරතරය 

දඬුවම පවතින්නේ, වැරැදිකරුවන් සඳහාය. නමුත් වැරැද්ද හෝ අපරාධ සිදුවී ඊට අදාළ දඬුවම ක්‍රියාත්මක වීම සඳහා අසීමිත කාලයක් වැය වනවා නම්, ඒ තුළ ඇත්තේ අර්බුදයකි. මීට උදාහරණ ලෙස ගත හැකි කතා ඕනෑ තරම් අපි අසා ඇත්තෙමු. වයස අවුරුදු 12 දී අපයෝජනයට ලක්වූ දැරියකට අදාළ නඩු තීන්දුව ලැබෙන්නේ, ඇයට වයස අවුරුදු 25ක් පමණ වූ විටය. මේ හරහා අපරාධකරුවා, එතෙක් කාලයක් සිය අපරාධය ද සමඟ දිගු කාලයක් නිදහසේ ජීවත් වෙයි. මේවා නීතියේ ඇති දුර්වලතා නොවේ ද?

මේ තුළ පෙනෙන්නට ඇත්තේ, යුක්තිය පසිදලන ක්‍රියාවලියට සහසම්බන්ධ ආයතන අතර කාර්‍යක්ෂම බැඳීමක් නොපැවතීමය. උදාහරණයක් ලෙස එය මෙසේ හඳුනාගනිමු. යම් අපරාධකරුවකුට අදාළ දුරකථන අංකයක් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලීසිය තීන්දු කළ විට, පළමුව ඒ සඳහා උසාවි නියෝගයක් ලබාගත යුතුය. ඊට දින කිහිපයක් ගතවිය හැක. පසුව එම උසාවි නියෝගයට අනුව අදාළ දුරකථන සමාගම දැනුම්වත් කළ යුතුය. ඊට දින කිහිපයක් ගතවනු ඇත. වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම තුළ ද මෙවැනි තත්ත්වයන් දැකගත හැකිය. අධිකරණ වෛද්‍ය වාර්තාව, අධිකරණ වෛද්‍ය නිලධාරියා, අධිකරණය ආදී ආයතන හරහා ලිපිගොනු සංසරණය වීමට ගතවන කාලය කාර්‍යක්ෂම නැත. මේ ආකාරයට පොලීසිය, උසාවිය, නීතිපති දෙපාර්තමේන්තුව හා වෙනත් ආයතන අතර කාර්‍යක්ෂම අන්‍යෝන්‍ය ක්‍රියාවලියක් නොපැවතීම මහත් වූ ගැටලුවකි. 

මේ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා,

''ළමා ආරක්ෂණය ගැන දැනට තියන නීති ඉතා ම හොඳයි වගේම ප්‍රමාණවත්. ඒවටත් වරින් වර සංශෝධන එකතු වෙලා තියනවා. දැන් තියෙන්නේ, 1995 අංක 22 යටතේ ආව සංශෝධන දණ්ඩ නීති සංග්‍රහය. ඒකෙ වගේම ඊට පස්සෙ ආව සංශෝධන පනත්වලත් ළමා ආරක්ෂණයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දක්වලා තියනවා. හැබැයි මෙහෙම එකක් තියනවා. දැං වෙනකොට සමාජ මාධ්‍යය, තාක්ෂණය වගේ දේවල් ශීඝ්‍රයෙන් දියුණු වෙලා කියන එක පේනවා. මේ හේතුවෙන් ළමයින් ඒවා කෙරෙහි තදින් සම්බන්ධ වෙලා තියනවා. ඒවා හරහා ළමුන් වින්දිතයන් වීම ගොඩක් වෙලාවට පේන්න තියන දෙයක්. ඒ නිසා මේ දියුණුවත් එක්කම ළමුන්ට සම්බන්ධ කාරණාවල දී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තවත් ටිකක් කාර්‍යක්ෂම වුණා නම් හොඳයි කියලා මට කියන්න පුළුවන්. ළමයාට ඉතා ඉක්මනින් සාධාරණයක් ඉටුවෙන, කඩිනම් ක්‍රමයක් තිබුණොත් හොඳයි. දැං තියන ක්‍රමයත් ඉතා හොඳයි. ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක, ඊට සාපේක්ෂව තව ටිකක් නීතිය ක්‍රියාත්මක වීම කඩිනම් වුණා නම්, ළමුන්ට සිදුවන අපරාධවල දී ඉක්මනින් සාධාරණය ඉටුකරන්න පුළුවන්''

මේ පිළිබඳ අදහස් දැක්වූ ළමාරක්ෂණ අධිකාරියේ සභාපති, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා,

''ළමා ආරක්ෂණය ගැන ප්‍රමාණවත් නීති පද්ධතියක් දැනටමත් තියනවා. ඒත් කාලානුරූපීව වෙනස් වෙන්න ඕන තැන් කීපයක් ම තියනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති අපි හදලා තියනවා වගේම හදමින් ඉන්නවා. අපි ඉදිරිපත් කරපු පස් අවුරුදු සැලැස්ම යටතේ අපි යෝජනා 10ක් ඉදිරිපත් කරලා තියනවා. ඒකෙදි අපි එක එක අමාත්‍යාංශවලට අදාළ ළමා ආරක්ෂණ කාර්‍යභාරය වෙන් කරලා දීලා තියනවා. ළමුන්ගේ අධ්‍යාපනයට අදාළ ආරක්ෂණය අධ්‍යාපන අමාත්‍යාංශය සතුයි. වෙරළබඩ හා සංචාරක කර්මාන්තය ප්‍රචලිත ප්‍රදේශවල ළමුන්ගේ ආරක්ෂාව සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශය සතුයි. ළමුන් කම්කරුවන් විදියට යොදවනවා නම්, ඒ ක්‍රියාවලිය අයිති කම්කරු අමාත්‍යාංශයට. ජනමාධ්‍යය තුළ ළමුන් පිළිබඳ වාර්තා කරනකොට, ඒවගෙන් ළමුන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් නැතිවෙනවා නම්, ඒකෙ වගකීම තියෙන්නේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයට. අන්න එහෙම අපි විවිධ වගකීම් ඒ ඒ අමාත්‍යාංශයට බෙදලා තියනවා''

''ළමා අපයෝජනවලට සමබන්ධ නඩුවිභාග කල් යෑම ගැනත් අපි විශේෂයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ ප්‍රමාදය වළක්වා ගන්න අවශ්‍ය ප්‍රතිපත්ති හා නීති සම්පාදනය ගැන නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට අපි දැනුම්දීම් සිදුකරලා තියනවා. ළමා අපයෝජන ගැන මහේස්ත්‍රාත් අධිකරණයේ වගේම මහාධිකරණයේත් නඩු විභාග වෙනවා. බරපතළ නඩු විභාග වෙන්නේ මහාධිකරණයේ. ඒ වගේම උසාවියේ නඩු කැඳවනකොට, ළමා අපයෝජන නඩුවලට ප්‍රමුඛතාවක් දෙන්න කියන යෝජනාවත් අපි ඉදිරිපත් කරලා තියනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, නඩු අහන දවස් පහෙන් එක් දවසක් ළමා අපයෝජන නඩු සඳහාම වෙන්කරන්න කියන යෝජනාවත් අපි කරලා තියනවා''

2022 දෙසැම්බර් 31 වන දා වනවිට මහාධිකරණය තුළ විභාග වන ළමා අපයෝජන නඩු ගණන 6,443කි. ඉන් 1,012ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, වයඹ පළාතෙන් සිද්ධීන් 1,263ක් වාර්තා වේ. උතුරු මැද පළාතෙන් සිදුවීම් 868කට අදාළව නඩු විභාග වෙමින් පවතියි. 

මේ අනුව අපට පෙනෙන්නේ, නීති සහ අණ-පනත් බොහෝ ප්‍රමාණයක් ඇති බවය. එසේම ඒවා ක්‍රියාත්මක වන ආකාරය ද පෙනෙන්නට තිබේ. නමුත් ඒවා කඩිනමින් ක්‍රියාත්මක විය යුතුය. 1995 වර්ෂයේ ක්‍රියාත්මක වූ දණ්ඩ නීති සංග්‍රහයට දැන් අවුරුදු 28කි. එසේ නම් ඒවා යාවත්කාලීන විය යුතු නොවේ ද? පොත්වල නීති තිබුණු පමණින් ප්‍රායෝගික තත්ත්වය තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ ගැටලු සහගත තැන් පෙනෙන්නට තිබේ. අවුරුදු 12 දී අපයෝජනයට ලක්වූ දරුවකුගේ අපරාධකරුට, තවත් අවුරුදු 20කින් දඬුවම් ලැබෙනවා නම්, එවැනි නීති ක්‍රමයක් යාවත්කාලීන කරගත යුතු නොවේ ද?