ඉදිරි පැය 36 තුළ මිලිමීටර් 100ක වැස්සක්

ඉදිරි පැය 36 තුළ මිලිමීටර් 100ක වැස්සක්

September 2, 2023   04:43 pm

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙයි.

ඉදිරි පැය 36ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි අද (02) සවස 4ට නිකුත් කරන ලද නිවේදනයේ ඒ බව දැක්වෙයි.

එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාත්වලත් විටින්විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ද ඇතිවෙයි.

දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. 

හෙට (03) දහවල් 12:10ට පුත්තලම දිස්ත්‍රික්කයේ බංගදෙනිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ,මාතලේ දිස්ත්‍රික්කයේ මඩවල, මඩකලපුව දිස්ත්‍රික්කයේ කොක්කඩිච්චෝලයි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහාය.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල, ඉංගිරිය සහ වලල්ලාවිට ප්‍රදේශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රදේශවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලටත් මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.