හොරණ පොලීසියට පැමිණි මාතුපෝසක දරුවෝ
September 2, 2023 01:07 pm
මාපියන් ප්‍රතික්ෂේප කරන ඇතැම් දරුවන් ගැන සමාජයෙන් නිරන්තර තොරතුරු වාර්තා වේ.
එවන් කාලයක මව් සෙනෙහස වෙනුවෙන් කැපවුණු දරුවන් ගැන නෙතට කදුළක් ගෙන එන පුවතක් අද දෙරණට වාර්තා විය.
පේමලතා නමැති 63 හැවිරිදි තිදරු මවක් මීට වසර දෙකකට ආසන්න කාලයකට පෙර සිය වැඩිමහල් දියණියගේ නිවසින් බැහැරව ගොස් තිබිණි.
එදා සිට අද වන තෙක් මව පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට ඇයගේ දරුවන් තිදෙනා දැඩි වෑයමක් දරා ඇත.
නීතියට පමණක් සීමා නොවූ හොරණ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්යය මණ්ඩලය ද දරුවන්ට මව සොයා දීමේ කාර්යය භාරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස හොරණ ප්‍රදේශයේ මාර්ගයක අනාරක්ෂිතව සිටි මව සොයා ගැනීමට හැකි වී තිබේ.
ඒ අනුව පුත්තලම, එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි මෙම අම්මාගේ දරුවන් කඩිනමින් පොලිස් ස්ථානයට පැමිණ තිබුණේ, සිය මව දැක බලා ගැනීමේ අපේක්ෂාවෙනි
කෙසේ වෙතත් මෙම අම්මාට මේ වනවිට සිය දරුවන් ගැන මතකයක් නැත.
දරුවන්ගේ ළෙංගතුකම නිසාවෙන් මේ මව සිය දියණිය සමඟ යන්නට අවසානයේ එකඟ විය.
මෙම දරුවන්ගේ ක්‍රියාව පොලීසියේ ද ඇගයීමට ලක්විය.
ලේ කිරි කර පොවා තමන්ව ඇති දැඩි කළ අම්මාව සතුටින් භාරගත් මෙම දරුවන්, ඉතා සතුටින් යුතුව පොලීසියෙන් පිට ව යන අයුරු දැකගැනීමට හැකිවිය.
තමාව ආදරෙන් තුරුළට ගෙන හදාවඩා ගත් මෑණියන් පියාණන් අමතක කර මිනිස්කමට නිගාදෙන්නන් සිටින සමාජයක මෙම දියණියන් සහ පුතු සමාජයට කියා දෙන්නේ අපූරු පාඩමකි.