මිනිස් මොළයකින් වටපණුවෙක් හමුවෙයි

මිනිස් මොළයකින් වටපණුවෙක් හමුවෙයි

August 29, 2023   02:24 pm

ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට එරට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබේ.

මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය වියහැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම කාන්තාවගේ හානියට පත්වී තිබු මොළයේ ඉදිරි කොටසේ ශල්‍ය කර්මයක් අතරතුරදී පටක අතර සිටියදී එම රතු පැහැති පණුවා හඳුනා ගැනුණි.  

රක්ත වර්ණ එම පරපෝෂිතයා එම කාන්තාවගේ මොළයේ මාස දෙකක් පමණ කාලයක් සිටින්නට ඇතැයි අනුමාන කෙරේ.

වෛද්‍ය පර්යේෂකයින් පවසන්නේ සතුන්ගෙන් මිනිසාට රෝග බෝවීමට ඇති හැකියාව වැඩිවී ඇති බව මින් පෙනී යන බවයි.
  
එම කාන්තාවගේ ශල්‍යකර්මයට එක්වී සිටි වෛද්‍ය සංජය සේනානායක පැවසුවේ ශල්‍යාගාරයේ සිටි සියලුම දෙනා තමන් දුටු දෙයින් පුදුමයට පත්වූ බවයි.

"මෙය නව රෝගී තත්ත්වයක්. මීට පෙර මෙවැන්නක් වාර්තාවී තිබුණේ නැහැ," යනුවෙන්ද වෛද්‍ය සේනානායක පැවසීය.

එම පණුව "Ophidascaris robertsi" නම් වට පණුවෙකි. විෂ රහිත සර්පයෙක් වන "carpet pythons" තුළ එම වට පණුවා හමුවන අතර මෙම සර්පයා  ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලින් හමුවෙයි.

එම කාන්තාවගේ සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් රෝහල්ගත කර තිබූ අතර එහිදී සිදුකළ පරීක්ෂණයකදී මොළයේ අසාමාන්‍ය තත්ත්වයක් දැක ශල්‍යකර්මය සිදුකිරීමට වෛද්‍යවරු තීරණය කළහ.

අදාළ වටපණුවා සොයාගැනුනේ එම අවස්ථාවේදීය.

එම කාන්තාව මේ වනවිට සුවය ලබමින් සිටින බව සඳහන් ය.