අදානිගේ බැල්ම ධාරාවි වෙත

අදානිගේ බැල්ම ධාරාවි වෙත

August 28, 2023   03:46 pm

බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂ ඩැනී බොයිල් 2009 වසරේදී නිර්මාණය කළ ඔස්කාර් සම්මාන දිනූ ස්ලම්ඩෝග් මිලියනයාර් චිත්‍රපටයට පසුබිම් වූ ඉන්දියාවේ මුම්බායි හි ධාරාවි පැල්පත් නගරය ඉන්දියාවේ නූතන දියුණුවට සරිලන ලෙසින් ප්‍රතිනිර්මාණය කිරීම ගැටලුවක් වී ඇති බව වාර්තා වෙයි. 

ඒ ඊට පැල්පත් වාසීන්ගෙන් එල්ලවන විරෝධය නිසා පමණක් නොවෙයි.

ව්‍යාපෘතිය ලබාගැනීම සඳහා අදානි සමූහය සහ ඩුබායිහි දේපළ සංවර්ධන සමාගමක් අතර පවතින තරගය අධිකරණය වෙත යාම ඊට තවත් හේතුවක් ලෙස සඳහන් වෙයි. 

පසුගිය කාලය තුළ අමෙරිකානු හින්ඩන්බර්ග් වාර්තාවෙන් අදානි සමූහය දැවැන්ත පසුබෑමකට ලක්වීම නිසා ඔවුන් මෙම ව්‍යාපෘති ලබාගැනීම ගැන මුම්බායි ධාරාවි පැල්පත්වාසීන් සැකයෙන් බැලීමත් නව ගැටලුවක් නිර්මාණය කිරීමට හේතු වී තිබෙන බව වාර්තා විය. 

ධාරාවී පැල්පත් නගරය නිව්යෝක් නුවර "සෙන්ට්‍රල් පාක් " උද්‍යානයෙන් හතරෙන් තුනක් පමණ විශාල වන අතර එහි මිලියනයකට අධික පිරිසක් වාසය කරති. 

ඉතා අඩු පහසුකම් ඇති ධාරාවි පැල්පත් නගරය පෙනෙන දුරින් මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙන්ම අහස උසට නැගුණු ගොඩනැගිලි වල ස්ථාපිත ජාත්‍යන්තර සමාගම් ද දක්නට ලැබෙයි. 

මේ නිසා එම පැල්පත් ඉන්දියාවේ වර්තමාන ආර්ථික පුබුදුවට නොගැළපෙන බව හොඳින්ම පැහැදිලි කාරණයකි.

ධාරාවි සංවර්ධනයට ඉදිරිපත් වූ මුල්ම යෝජනාව අනුව කොන්ත්‍රාත්තුව හිමිවුණේ බහරේන් රජ පවුලට සම්බන්ධ ඩුබායි හි පිහිටි සෙක්ලින්ක් ටෙක්නොලොජික් සමාගමටය.

එහෙත් මහාරාශ්ට්‍ර ප්‍රාන්ත රජය මගින් 2018 වසරේ එම ටෙන්ඩරය හදිසියේ අත්හිටවූ අතර 2022 වසරේ ටෙන්ඩර් ක්‍රියාවලිය නැවත ආරම්භ කළේ අදානි සමූහයට වාසිදායක කොන්දේසි සමගිනි.

මේ නිසා සෙක්ලිනික් සමාගම අදානි සමූහයට සහ මහරාශ්ට්‍ර ප්‍රාන්ත රජයට එරෙහිව නඩු මඟට පිවිසි අතර, එම නඩුව තවදුරටත් ක්‍රියාත්මකය.

ධාරාවි පැල්පත්වාසීන් පෙන්වා දෙන්නේ මෝදි රජය දේශපාලන වශයෙන් මැදිහත්වෙමින් අදානි සමූහයට කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවය.

අදානි සමූහය මෑතකදී පසුබෑමකට ලක්වීම ද ඔවුන්ගේ සැකය ඉහළ නැංවීමට හේතු වී තිබේ. 

අගමැති මෝදි මෙන්ම අදානි සමූහයේ හිමිකරු ගෞතම් අදානිද ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් බිහිවූ අය බව මෙහිදී සිහිපත් කළ යුතුය.

අගෝස්තු 31 වැනිදාට පෙර කරුණු ගොනු කිරිමට අධිකරණය දන්වා තිබූ අතර, සැප්තැම්බර්ය වන විට ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි වනු ඇති බව අදානි සමූහය විශ්වාසය පළ කරයි. 

ධාරාවි පැල්පත් සමූහය විනාශ කොට එහි දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී නොමිලයේ නිවාස හිමිවන්නේ 2000 වසරට පෙර එහි පදිංචිව සිටි අයට පමණය. 

ඒ අනුව 700,000කට පමණ පිරිසකට නිවාස හිමිවන්නේ ඉන් කිලෝමීටර් 10ක් පමණ ඇතින් ඉදිකෙරෙන ගොඩනැගිලිවල අතර ඒ සඳහා කුලී ගෙවීමක්ද සිදුකළ යුතුය.  

අදානි සමූහය මෙම ව්‍යාපෘතියේ ඩොලර් බිලියන 12ක් පමණ ආයෝජනය කර ඩොලර් බිලියන 24ක පමණ අදායමක් ඉපයීමට අපේක්ෂා කරන බව ආර්ථික විශ්ලේෂකයින් ඇස්තමේන්තු කරයි.