ඉන්දියාවේදී කොටුවූ ලංකාවේ අපරාධකාරයෝ

ඉන්දියාවේදී කොටුවූ ලංකාවේ අපරාධකාරයෝ

August 25, 2023   05:28 pm

පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බැංගලෝර්හි යෙලහන්කා ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නීතිවිරෝධීව රැදී සිටියදී ඉන්දීය මධ්‍යම අපරාධ අංශය මගින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

අමිල නුවන් නොහොත් "ගොත අසංක", රංග ප්‍රසාද් නොහොත් "චුට්ටා" සහ කසුන් කුමාර සංඛ යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් එරට විවේක්නගර්හි පදිංචිකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

අමිල නුවන් නමැත්තා පුද්ගල ඝාතන 05කටත්, කසුන් කුමාර සංඛ ඝාතන 04කටත් රංග ප්‍රසාද් යන අයට පහරදීම් සම්බන්ධ චෝදනා දෙකක් පවතින බවත් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති අතර ඊට අදාළව ඔවුන් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා මෙලෙස ඉන්දියාවට පළාවිත් ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනා මීට දින 15කට පමණ පෙර මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධීව ඉන්දියාවට පැමිණ ඇති අතර ඔවුන් සතුව තිබී ජංගම දුරකතන 13ක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

මොවුන්ට ඉන්දියාවට පැමිණීම සඳහා ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම අපරාධ අංශය විමර්ශන ආරම්භ කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.