නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

August 22, 2023   12:54 pm

රට තුළ මේ වනවිට පවතින නියඟය හේතුවෙන් වගා හානිවූ අක්කර ප්‍රමාණය අක්කර 46,904.54 දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නියඟය හේතුවෙන් මේ වනවිට හානියට පත්වී ඇති වගා කළ කුඹුරු පිළිබඳව තක්සේරු කිරීම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් දැනටමත් සිදු කරනු ලබයි.

ඒ අනුව 2023.08.21ක වනවිට වගා හානි සිදුවූ ප්‍රමාණයන් පිළිබඳව දෛනික වාර්තාව අද (22) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එම මණ්ඩලය විසින් ලබාදී ඇත.

ඊට අනුව ඊයේ දිනය (21) වනවිට වගා හානියට පත්වී ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 46,904.54කි. 

එමෙන්ම වගා හානිවලට ගොදුරුවී සිටින ගොවීන් ප්‍රමාණය 41,402ක් වෙයි.

ඊයේ දිනය (21) වනවිටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. 

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානියට ලක්වී ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 23,286කි. හානියට පත් ගොවීන් ප්‍රමාණය 27,904 දක්වා ඉහළ ගොස් ඇත. 

දෙවන ස්ථානයට උඩවලව කලාපයේ වගා හානි වාර්තා වන අතර එය අක්කර 14,667.5කි. වගා හානියට ලක්වූ ගොවීන් ප්‍රමාණය 5867ක් වෙයි.

මේ අතර දැනට රජය සතුව වී සහ සහල් අමතර සංචිත (Buffer Stock )නොමැතිවීමත්, පුද්ගලික අංශය සතුව වැඩිම වී සහ සහල් සංචිත තිබීම නිසාත් ඉදිරි කාලය තුළ සහල් මිල ඉහළ යාමට ඉඩ ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. 

මේ නිසා සහල් මිල ඉහළ යෑම මගින් පාරිභෝගිකයින්ට සිදුවන බලපෑම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.