දැවැන්ත මුදල් වංචාවකට සැකපිට අඹුසැමි යුවළක් අත්අඩංගුවට

දැවැන්ත මුදල් වංචාවකට සැකපිට අඹුසැමි යුවළක් අත්අඩංගුවට

August 21, 2023   03:58 pm

කෝටි 20කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ලවූ අඹුසැමි යුවළක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48සහ43 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළකි.

සැකකාර අඹුසැමි යුවළ විසින් මීගමුව කුරණ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ආයතනයක් වෙත විශාල මුදලක් තැන්පත් කළ අයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සැකකාර යුවළට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබේ.

වසර 20ට අධික කාලයක් විදෙස්ගතව සිට මෙරට ව්‍යාපාරයන්හි නිරතවන අයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකාර අඹුසැමි යුවළ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව මෙලෙස ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනයන් හිදී අනාවරණය වී ඇත්තේ පැමිණිලිකරු විසින් මීට වසර දෙකකට පෙර සැකකාර අඹුසැමි යුවළ පවත්වාගෙන ගිය ආයතනය වෙත මුදලින් රුපියල් කෝටි 16ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් ආයෝජනයක් ලෙස ගිවිසුම්ගතව ලබා දී ඇති බවය.

පැමිණිලිකරු විසින් එහිදී පවුම් 150ක පමණ රන් භාණ්ඩ සැකකාර අඹුසැමි යුවළ වෙත ලබාදී ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම මුදල් සහ රන් සිංගප්පූරුවේ පවත්වාගෙන යන ආයතනයක ආයෝජනය කර ලාභාංශ ලබාදෙන බවට එහිදී සැකකාර අඹුසැමි යුවළ ගිවිසුම හරහා පොරොන්දු වී ඇති බවද පැමිණිලිකරු පවසයි.

අනතුරුව අවස්ථා කිහිපයකදී අදාළ ලාභාංශ ගැන විමසුවද මෙම සැකකාර යුවළ එම සෑම අවස්ථාවකම තමන් මගහැරීමට කටයුතු කළ බව පැමිණිලිකරු පොලීසිය වෙත පවසා තිබේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමත් සමඟ සැකකාර යුවළට එරෙහිව මුදල් වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් පැමිණි 5ක් ලැබී තිබේ.

එම පැමිණිලිවලට අනුව සැකකාර යුවළ විසින් වංචා කර ඇති බවට පැවසෙන මුදල කෝටි 4කට ආසන්න බවට වාර්තාවෙයි.

විමර්ශනවලට අදාළව පොලීසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තාකිරීමෙන් අනතුරුව සැකකාර යුවළට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන ඇත.

එසේ තිබියදී පොලීසියට තොරතුරක් ලැබී ඇත්තේ සැකකාර යුවළ විදෙස්ගතවීමට සැලසුම් කර ඒ සඳහා කටුනායක බලා පිටත්ව ගොස් ඇත බවටය.

අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් උපක්‍රමශීලීව සැකකාර යුවළ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන සිදුකළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ ඔවුන් අමෙරිකාව බලා යාමට සැලසුම් සකස්කර තිබූ බවය.

සැකකාර යුවළ මීගමුව ධනවත් ව්‍යාපාරිකයන් වෙසෙන දැඩි ආරක්ෂාවක් සහිත සුපිරි නිවාස සංකීර්ණයක සුඛෝපභෝගී තෙමහල් නිවසක් කුලී පදනම මත ලබාගෙන පදිංචිව සිට තිබේ.

අති සුඛෝපභෝගී රථයක් පරිහරණය කරමින් කැපීපෙනෙන අයුරින් ජීවත්ව සිට ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

මේ අතර පොලීසිය වැඩිදුරටත් පවසන්නේ සැකකාර යුවළ විසින් මීගමුව කුරණ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ මෙම ආයතනයේ යම් අයෙකු මුදල් ආයෝජනය කර ඇත්නම් පොලීසියට පැමිණිලි කරන ලෙසටය.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා 23 දක්වා රිමාන්ඩ් භාරයට පත්කළ බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.