බෝගල පතලේ අලුත්ම සංචාරක ආකර්ශනය
August 14, 2023 11:17 am
ශ්‍රී ලංකාවේ පළමු වරට මීටර් 124ක් පොළොව යට බෝගල මිනිරන් පතලේ පවත්වාගෙන යන භූගත ආපනශාලාවට අවසර ලත් පිරිසකට සහභාගී වීමට අවස්ථාව හිමිව තිබේ.
බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පවසා සිටියේ, ඒ සඳහා අවුරුදු 14ට අඩු ළමුන්ට අවසර හිමි නොවන බවය.
එම ආපන ශාලාවේ එක්වර පුද්ගලයින් 15දෙනෙකුට ආහාර ගත හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමිල ජයසිංහ මහතා,
"ඇත්තටම බෝගල පතල කියන්නේ අවුරුදු 150කට වඩා ඉතිහාසයක් තියෙන ආයතනයක්. පොළොව මට්ටමේ ඉඳලා මීටර් 124ක් යටට ගිහින් භූගත අවන්හලක අත්දැකීම සලසා දීමට හැකිවුණා. 15දෙනෙකුට විතර ඉන්න පුළුවන් මෙතෙන. දෝනාවක තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ. මෙතෙන ඔයාලා දන්නවා පොළොව යටට ගියාම මිහිපිට සමග තියෙන සම්බන්ධතාවය නැති වෙනවා. අපිට මොබයිල් ෆෝන් වැඩකරන්නේ නෑ. සිග්නල් එකක් එන්නේ නෑ. නමුත් මීටර් 124ක් යට අපි වයිෆයි පහසුකම අපි ලබාදීලා තියෙනවා."
1865 දී පමණ ආරම්භ කර ඇති බෝගල මිනිරන් පතල ලොව උසස් තත්වයේ මිනිරන් අපනයනය කරමින් ලෝකයේ ඉහළ නාමයක් දිනා ඇති ආයතනයකි.
මෙහි මිනිරන් ජර්මනිය, ජපානය , ඉන්දියාව පකිස්තානය වැනි රටවල්වලට අපනයනය කරමින් මෙරටට විශාල විදේශීය විනිමය උපයා දෙන සුවිශේෂී කර්මාන්ත ශාලාවකි.
තව ද ආපන ශාලාව අවට මිනිරන් කැණීම් සිදුකරන කම්කරුවන් පෙන්වා දෙමින් ඩමි කිහිපයක් ඉදිකර ආපන ශාලාවට පැමිණෙන ජනයාට දැක බලා ගැනීමට අවස්ථාව පාලනාධිකාරිය විසින් උදා කර දී තිබීම මෙහි තවත් සුවිශේෂීතාවයකි.