වියළි කාලගුණය නිසා සිදුවූ වගා හානි ගැන තක්සේරුවක්
August 12, 2023 12:52 pm
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනට සිදුකර ඇති තක්සේරු කිරීම් අනුව නියඟයේ වැඩිම වගා හානිය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
ඊට අමතරව උඩවලව, අනුරාධපුර නොච්චියාගම සහ මොනරාගල ප්‍රදේශවල ද වගා හානි වාර්තා වෙයි.
රට තුළ පවතින නියං කාලගුණික තත්ත්වය හමුවේ, ජලාශවල ජලය සිඳීයාමෙන් තවදුරටත් ගොවිතැන් කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල ව ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊයේ (11) දිනය වන විට දිවයින පුරා ඇති ප්‍රධාන වැව් 73න් 66ක ජලය ධාරිතාව සියයට 50කටත් වඩා අඩු අගයක් ගත් බවයි.
මේ අතර, මාස 03ක කාලයක් පැවති වැසි රහිත නියං කාලගුණික තත්ත්වය අවසන් කරමින් ඊයේ (11) පස්වරුවේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවලට වැසි ඇද වැටී තිබිණි.
කෙසේ වෙතත් දිවයිනේ ප්‍රධාන ජලාශ බොහෝමයක ජල ධාරිතාව තවමත් පවතින්නේ, 50%කටත් වඩා අඩු අගයකයි.