තරුණයන්ට අවවාද කළ පුද්ගලයකුට හෙල්මට් ප්‍රහාරයක්

තරුණයන්ට අවවාද කළ පුද්ගලයකුට හෙල්මට් ප්‍රහාරයක්

August 10, 2023   07:36 pm

අනතුරුදායක අන්දමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් පිරිසකට අවවාද දුන් පුද්ගලයකු එම තරුණයන්ගේ පහර කෑමට ලක්වූ පුවතක් වාද්දුව, තල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි දුලාංජ හේෂාම් විජේවර්ධන ඉකුත් 07 වනදා අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන්නේ, අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කරද්දී සිදුවූ අනතුරක් හේතුවෙනි.

ඔහු ද සිය යතුරු පැදියෙන් අනතුරුදායක ක්‍රියාකාරකම්වල නිරත වූ අයෙකි.

දුලාංජගේ අවසන් කටයුතු වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී ඊයේ (09) සිදුකෙරුණු අතර, මෘතදේහයට අවසන් ගෞරව දක්වන බව පවසමින් තරුණයන් පිරිසක් යතුරුපැදි 30ක පමණ පෙළපාලියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන් එහි දී සංදර්ශනයක් ඉදිරිපත් කර තිබිණි.

කෙසේවෙතත්, එහි රැඳී සිටී තිදරු පියෙකු ඊට විරෝධය පළකර පවසා ඇත්තේ, එම අනතුරුදායක ක්‍රියාවෙන් වළකින ලෙසයි.

එම අවවාදයෙන් නොසන්සුන් වූ තරුණයන් ඔහුට හෙල්මට්වලින් පහර දී තිබේ. 

පසුව ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු එක්ව ඔහු බේරාගැනීමට කටයුතු කර ඇත.

අප වාර්තාකරු පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මේ හා සමාන සිදුවීමක් ඉකුත් පෙබරවාරි මාසයේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.

අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ පාසල් සිසුන් තිදෙනකුට අවවාද කළ 34 හැවිරිදි එක්දරු පියෙකුට එම සිසුන් හෙල්මට්වලින් සිදුකළ පහරදීමකින් ඔහුට දිවි අහිමි විය.

තාරුණ්‍යය ආවේගශීලී වුවත්, එම ආවේගශීලී හැඟීම් තවකෙකුගේ ජීවිතය අහිමි කරන්නේ නම්, එය කිසිදා නිවැරදි කළ නොහැකි වරදකි.